Tuesday, November 4, 2014

අනුරාධපුර නගරයේ අතිත වගතුග

පැරණි අනුරාධපුරයේ කලාප තුනක් විය. ඒවා මෙසේය.
  1. ඇතුළු නුවර - රජ මාළිගය ඇතුළු ගොඩනැගිලි
  2. පිටි නුවර - නගරය අවට ප්‍රදේශය
  3. පුජා නුවර - වෙහෙර විහාර ආදිය තිබූ ප්‍රදේශය
  • නැගෙනහිර දේශාන්තර 800. 24` හා
  • උත්තර අක්ෂභාග 80.21` ආශ්‍රිතයි.
  • ලංකාවේ උතුරු දිග තැනිතලාවේ මල්වතු ඔයබඩ පිහිටා ඇත.
  • මුහුදු මට්ටමේ සිට අඩි 295 ක් උසය.
  • වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය 57``.
  • සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය ෆැ. 810 කි.
  • නගරය වර්ග සැතපුම් 9 ½ පමණ විශාලය.
  • 1953 වර්ෂයේ එහි ජනගහණය 18,431 කි.
  • මෙය දැන් දස ගුණයකටත් වඩා වැඩිය.
  • මෙය 1874 පටන් උතුරු මැද පළාතේ අගනුවරයි.
  • කොළඹ සිට අනුරාධපුරයට දළ වශයෙන් දුර සැතපුම් 127 ½ කි. (කි.මී. 204 කි.)

  • මහනුවර සිට දඹුල්ල හරහා දුර සැතපුම් 85 ½ කි. (කි.මී 136 කි.)
අටමස්ථාන සියල්ල පිහිටා ඇත්තේ මෙහිය.
මීට අවුරුදු ලක්ෂ එකහාමාරකටත් පෙර ශ්‍රී ලංකාව මනුෂ්‍යවාසයක් ව පැවැති බවට පුරාවිද්‍යාත්මක සාධක ලැබි ‍තිබේ. ඉදිරිකාලයේ කෙරෙන පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් මේ පිළිබඳව තව තවත් තොරතුරු අනාවරණය විමට ඉඩ තිබේ. එසේ වුවද ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුගය ඇරඹෙන්නේ මෙරට බුදු දහම හඳුන්වා දුන් ක්‍රි.පූ. 250 පමණේ සිටය. එම ඓතිහාසික යුගයට ආසන්න පෙර කාලයේ එනම් ක්‍රි.පූ 6 වැනි සියවසේ සිට උතුරු ඉන්දියාවෙන් පැමිණි ආර්යෝ ආදිවාසිකයින් මැඩ පවත්වා ජනාවාස පිහිටුවා රටේ පාලනය සියතට ගත්හ. විජය පරපුරත් ඊට පසු ශාක්‍ය වංශිකයෝත් ඔවුන්ගෙන් පසු ලම්බකර්ණ වංශිකයෝත් ඔවුන්ගෙන් පසු වෙනත් රාජවංශත් නුවර යුගය දක්වා රට පාලනය කළහ. අනුරාධපුර ඇතුල් නුවර පුරාවිද්‍යාත්මක කැණිම් වලින් ලැබි ඇති ක්‍රි.පූ. 6 වැනි සියවස සිට මෑත කාලයට අයත් රෝම මැටි බඳුන් අපගේ ඓතිහාසික යුගයේ ආරම්භය ක්‍රි.පූ. 3 වන සියවස සිට තවත් ශතවර්ෂ 3 ක් අතිතයට ව්‍යාප්ත කිරීමට අනුබල දෙයි. ඒ සමග ඒ කාලයේ භාවිතා කරන ලද ලිවිමේ ක්‍රමය ද මෙහිදී සැළකිල්ලට ගත යුතුව ඇත. එකල භාවිත චිත්‍රාක්ෂර වැනි අකුරු තවමත් අභිලේඛන විද්‍යාඥයන් විසින් කියවා ගත නොහැකිව තිබේ. ඒවා කියවීමට හැකිවු දාට අපගේ ‍ඓතිහාසික යුගයේ ආරම්භය ක්‍රි.පූ 6 වැනි සියවස දක්වා අතීතයට ගෙන යාමට සිදු වනවා ඇත. අනුරාධපුරය නිර්මාණය කොට එය රාජධානිය වන්නට පෙර කාලවල පැවැති නගර ගැන අප දන්නේ අල්ප වශයෙනි. ජනප්‍රවාද බැහැර කළොත් ප්‍රථම ඓතිහාසික රාජධානිය ලෙස සළකන්නට වන්නේ අනුරාධපුරයයි. අනුරාධගම පසුව අනුරාධපුරය විය. අනුරාධගම පිහිටුවන ලද්දේ විජයගේ ඇමතිවරයෙකු වන අනුරාධ විසිනි. එය නගරයක් බවට පත් කළේ පණ්ඩුකාභය රජු (ක්‍රි.පූ. 380-310) විසිනි. ඔහුගේ නගර නිර්මාණ ශිල්පියා වුයේ ජෝතිය නමැති ජෛන බ්‍රාහ්මණයාය. නගරයට අනුරාධ යන නම යොදන ලද්දේ අනුරාධ ඇමතියා විසින් ආරම්භ කළ ගම මුල් විමත් අනුරාධ නැකතින් ආරම්භ කිරීමත් නිසා බව කියනු ලැබේ. ආර්යන් තැනු වෙනත් ගම්වලටද ඒ ඒ නම නිර්මාණය කළ පුද්ගලයාගේ නම තැබුවාක් මෙන් අනුරාධ පිහිටුවාලු ගමට ඔහුගේ නම තැබිම සාමාන්‍යයෙන් සිදුවිය හැක්කකි. එම ගම නගරයක් විමේ දි ද පරණ නමම එයට තැබිම මෙහිදි සිදු වන්නට හොඳටම ඉඩ තිබුණි. වාස්තු විද්‍යාඥයකු විසින් සැළසුම් කර නිර්මාණය කරන ලද නගරයක් වශයෙන් ගත්විට අනුරාධපුරයට මුල් තැන ලැබේ. එම නගරය නිර්මාණය කොට තම අගනුවර වශයෙන් එය මුලින්ම පාවිච්චී කළේ පණ්ඩුකාභය රජු විසිනි. එතැන් පටන් ක්‍රි.ව. 993 දී සොළින් විසින් මේ නගරය අල්ලා ගන්නා තුරු ශත වර්ෂ දහහතරක් පමණ කාලයක් එය දිවයිනේ අගනුවර ලෙස පැවැතියේය. සොළි ආක්‍රමණයෙන් පසු රාජධානිය පොළොන්නරුවට ගෙන යන ලදී. දැඩි උෂ්ණත්වයක් පවතින උතුරු මැද පළාතේ අනුරාධපුරය එකල අධික ජනගහණයකින් යුක්ත වුවාට සැකයක් නැත. එමෙන්ම එහි ගෙවල් විශාල සංඛ්‍යාවක් ද තිබෙන්නට ඇත. එකල අනුරාධපුරයේ දැඩි උෂ්ණය මැඩ පැවැත්වීම සඳහා රජවරු වනෝද්‍යාන, වැව් හා පොකුණු නගරය අවට කරවූහ. අනුරාධපුරය වටා විශාල වැව් කිපයක් වෙයි. බූලන්කුලම හා අභයවැව හෙවත් බසවක්කුලම, පෙරුමියන්කුලම, නුවර වැව, තිසා වැව හා පුලියන්කුලම එසේ නගරය වටා පිහිටි වැව්ය. ඇතුල් නුවර දකුණු දොරටුවට මුහුණලා නන්දන වනය ද තවත් දකුණට මහාමේඝ වනය ද පිහිටුවා තිබිණි. මේ උද්‍යාන දෙක පසුව මහා විහාරය සඳහා වෙන් කරන ලදී. මේ හැර ශුද්ධ නගරය තුළ විශාල සංඛ්‍යාවක් ලොකු කුඩා පොකුණු දක්නට ලැබේ. ඒවායින් විශාලතම පොකුණ ඇත් පොකුණයි. එය දිගින් මීටර් 150 ක් ද පළලින් මීටර් 50 ක් ද ගැඹුරින් මීටර් 10 ක් ද වෙයි. මුල් අනුරාධපුරය දැන් ඇතුල් නුවර නමින් හැඳින්වේ. මහා විහාර, අභයගිරිය, ජේතවනාරාම යන තුන් නිකායට අයත් විහාරාරාම ඇතුල් නුවරට උතුරු, දකුණ හා බටහිර යන ප්‍රදේශවල ව්‍යාප්තව තිබේ. මෙම ප්‍රදේශ ශුද්ධ නගරය නමින් දැන් හැඳින්වේ. ඇතුල් නුවර රජු, රාජකීයයන් ඇමතිවරුන් ප්‍රධාන ප්‍රභු ජනයා සඳහා ද, ශුද්ධ නගරය පුජනීය ස්ථාන හා භික්ෂුන් වහන්සේලා සඳහා තනනා ලද ගොඩනැගිලි සඳහා ද වෙන්වී ඇත. එහෙත් ඇතුල් නුවර ද පුජනීය ගොඩනැගිලි කිපයක් තිබේ. සාමාන්‍යයෙන් අනුරාධපුරය යයි කී විට ඇතුල් නුවර හා ශුද්ධ නගරය ‍යන දෙකම ඉන් අදහස් වෙයි. එය පැරණි අනුරාධපුරයයි. මීට අමතරව අනුරාධපුර නව නගරයක් ද වෙයි. අනුරාධපුරය සිංහල බෞද්ධ සංස්කෘතියේ අරුණෝදයේ සිට එහි උපරිම දියුණුව දක්වා දිව‍යිනේ අගනුවර වී තිබීම සුවිශේෂ සිද්ධියක් ලෙස සඳහන් කළ හැකිය. ස්තුප, පිළිම ගෙවල්, බෝධින් වහන්සේලා, සංඝයා සහ ශාන්ත පරිසරය දුටු මහජනයාගේ සිත්වල ආගමික ශ්‍රද්ධාව පිරි ඉතිරි යන්නට ඇතුවාට සැකයක් නැත. අද වුවද කෙනෙකුට එහි අතීත ශ්‍රී විභුතිය මවා ගැනිමට නටබුන් විහාරාරාම, දාගැබ් හා වැව් ආදිය මහෝපාකාරී වේ.

ඇතුළු නුවර වර්ධනය හා පිහිටීම

අනුරාධ ග්‍රාමය පිහිටවූයේ ක්‍රි. පූ. හයවන සියවසේ දෙවන භාගයේදී විජය කුමරු සමඟ පැමිණි අනුරාධ සෙනෙවියා විසින් බව මෙහි මීට පෙර ද සඳහන් කොට ඇත. එය නගරයක් බවට හැරවූයේ ක්‍රි. පූ. සිව්වැන්නේදී පණ්ඩුකාභය රජු විසිනි. පසුකාලීන රජවරුන් එහි වර්ධනයට ක්‍රමානුකූලව දායක වී ඇති බව පෙනේ. ඒ අනුව කුටකණ්ණ තිස්ස රජු (ක්‍රි. පූ. 41 – 20 ) ඇතුළු නගරයේ පවුර හත් රියනක් උස් කොට බඳවා ඒ වටා දිය අගලක් ද කරවීය. එය රියන් 18 ක් දක්වා උස් කොට බැඳවූයේ වසභ රජු (ක්‍රි. ව. 66 – 110) විසිනි. එළාර රජු හා දුටුගැමුණු රජු අතර ද්වන්ද සටන සිදුවූයේ දකුණු දොරටුව අසල දී බව පිළිගැනෙයි. එළාර රජු එහිදී ජීවිතය අහිමිව බිම පතිත වූයේය. දුටුගැමුණු රජු එම ස්ථානයේ ස්මාරකයක් ඉදි කොට ඒ ස්ථානය පසුකොට යන එන්නන් විසින් ගෞරව කළ යුතු යැයි ආඥාවක් නිකුත් කිරීමෙන් එය සනාථ කරගත හැකිය. රජ මාලිගය පිහිටියේ ඇතුළු නගරය තුළය. එයට අමතරව ඉහළ පන්තියේ උදවියට ද වෙළෙඳුන්ට ද ඒ තුළ වාසස්ථාන තනා ගැනීමට අවසර ලැබී ඇත. අනුරාධපුර ඇතුල් නුවර නැරඹිය යුතු ස්ථාන කීපයක් වෙයි. අක්කර 250 ක් පමණ වු ප්‍රදේශයක පිහිටි ඇතුල් නුවර තුළ ඒවා පිහිටා තිබේ.

No comments:

Post a Comment