Tuesday, July 7, 2015

අනුරාධපුර යුගයේ සාහිත්‍යය

කි‍්‍ර. පූ. 437 සිට කි‍්‍ර.ව. 1017 දක්වා අනුරාධපුර රාජධානි යුගයේ කි‍්‍ර. පූ. 89 - 76 දක්වා රාජ්‍යත්වය දැරූ වළගම්බා රජතුමාගේ රාජ්‍ය යුගය සිංහල සාහිත්‍යයේ ආරම්භක යුගය බව බොහෝ විද්වත්තු සලකනු ලබති.මේ අනුව අටුවා කතා සිංහලට නැගීම අනුරාධපුර සාහිත්‍යය සම්බන්ධයෙන් සඳහන් වන මුල්ම අවස්ථාවයි. මහා අටුවාව, මහ පසුරු අටුවාව සහ කුරුන්දි අටුවාව යන අටුවා ග‍්‍රන්ථ තුන මේ සඳහා උපයෝගී කර ගෙන ඇති බව සඳහන් ය. නමුත් පස්වන සියවසෙ ලංකාවට පැමිණි බුද්ධඝෝෂ හිමියන් පාලියට නැගීම සඳහා උපකාර කරගත් අටුවා පහක් ගැන සඳහන්ය. මහා අට්ඨකතා, මහා පච්චරියට්ඨකතා, කුරුන්දියට්ඨකතා, අන්ධකට්ඨකතා සහ සංඛේපට්ඨකතා යනු එම අටුවා පහයි.අනුරාධපුර රාජධානියේ පද්‍ය සාහිත්‍ය සම්බන්ධයෙන් වැදගත් යුගය ලෙස මහාවංශය සඳහන් කරන්නේ මුගලන් රජතුමාගේ රාජ්‍ය යුගයයි. ඔහු සිංහල පද්‍ය සාහිත්‍යයේ ආරම්භකයා ලෙස ද සඳහන් වෙයි. මුගලන් රජතුමා ‘දහම් කවි’ කියමින් වීථි සංචාරය කළ බව මහාවංශයේ සඳහන් වේ.දළදා වහන්සේ ගැන ලියැවුණු ග‍්‍රන්ථ කීපයක පළමුවැන්න ලෙස සඳහන් වන එළු දළදා වංශ කාව්‍යය කිත්සිරිමෙවන් රජතුමාගේ යුගයේ ලියැවුණු බවට මතයක් ඇත. කෙසේ වෙතත් අද මෙම කෘතිය දක්නට නැත.
අනුරාධපුර යුගයේ ලියැවුණු වෙනත් කෘති
කේසධාතු වංශයබුදුරජාණන්වහන්සේගේ කේශ ධාතු රැගෙන ලක්දිවට පැමිණීමේ පුවත පිළිබඳව අඹහෙරණ නැමැත්තෙකු විසින් ලියන ලද්දකි. මුගලන් රජුගේ රාජ්‍ය යුගයේදී මෙම ග‍්‍රන්ථය රචනා කර ඇති බව සැලකේ.
හෙළු සූත‍්‍රබුද්ධදාස රජු දවස ධම්මකථි නම් භික්‍ෂුවක විසින් රචිත මෙහි පාලි සූත‍්‍රයන් සිංහලට පරිවර්තනය කිරීම සිදුකර ඇත.
හෙරණ සිඛ හා හෙරණ සිඛ විනිසමෙම ග‍්‍රන්ථ සාමණේර භික්‍ෂූන් සඳහා ලියැවුණකි. මෙහි පැවිද්දෙකු විසින් පැවිදිවීමට පෙර පිරිය යුතු වත් පිළිවෙත් සහ පැවිද්දෙකු විසින් පිළිපැදිය යුතු වත්පිළිවෙත් දක්වා ඇත.
සීගිරි ගීකි‍්‍ර.ව. 8 - 14 සියවස් අතර ලාංකීය පොදු ජනතාවගේ සිතුම් පැතුම් කාව්‍යයන් ලෙස අව්‍යාජව සටහන් කර ඇති සීගිරි කැටපත් පවුර ලෝ ප‍්‍රකට සාහිත්‍ය නිර්මාණයකි.
සියබස්ලකරමෙම කෘතිය සීගිරි ගී වලින් පසුව ලියැවී ඇති ගී සහිත ග‍්‍රන්ථයකි. සිංහල කාව්‍ය ලක්‍ෂණ පැහැදිලි කිරීමට ලියා ඇති මෙය පළමුවැනි සේන රජතුමාගේ රාජ්‍ය යුගයේදී ලියැවෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.
සිඛවළඳ හා සිඛවළඳ විනිසසිව්වන මිහිඳු රජුගේ කාලයේ ලියැවී ඇතැයි සැලකෙන මෙය අපගේ සාහිත්‍යයේ ලා ගත හැකි පැරණිතම ගද්‍ය කෘතිය සේ සැලකේ. භික්‍ෂුන්ගේ ප‍්‍රයෝජනයට ඉවහල් වන විනය සංග‍්‍රහයකි.

උපුටා ගැනීම
http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=19175%3A%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA&catid=95%3Ahistorical&Itemid=138&lang=si

No comments:

Post a Comment