ගෞතම බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ මහා ගුණ සමුදාය හා මහා
කාරුණික භාවය පිළිබිඹු කරන ලක්දිව බුදු පිළිම අතුරෙන් අවුකන බුදු පිළිමයට
හිමි වනුයේ අද්විතීය ස්ථානයකි. උතුරු මැද පළාතේ පිහිටි කලාවැවෙන් සැතපුම් 4
ක් පමණ දුරින් පිහිටි අවුකන නම් ග‍්‍රාමයේ තිබූ මෙකී බදු පිළිමය පිළිබඳව
ශාස්ත‍්‍රීය විමර්ෂණයක් කිරීම මෙකී ලිපියේ මුඛ්‍ය පරමාර්ථය වේ.කි‍්‍ර. ව. 5
වැනි සියවසේ මැද භාගයේ රාජ්‍ය කළ ධාතුසේන රජතුමා (කි‍්‍ර. ව. 460 - 478)
විසින් ඉදි කරවන ලද කලාවැව දෙස ශාන්ත ලීලාවෙන් වැඩ හිඳින අවුකන බදු පිළිමය
උසින් අඩි 38 ක් හා අඟල් 10 කින් යුක්තය. මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්
අවුකන බුදු පිළිමය චූූල වංශයේ (38 - 68) සඳහන් වන “කාලසේල” නම් වූ බුදු
පිළිමය යැයි කියා හඳුන්වයි. හෙතෙම තම මතය සනාථ කරනු වස් සාධක කීපයක් ගෙන
හැර
දක්වයි.මෙකී බුදු පිළිමය පිහිටි භූමිය 18 වැනි සියවසේ දී ලියැවුණු ලේඛණවල
“කලාගල් විහාරය” ලෙස සඳහන්වීම එයින් එක් සාධකයකි. “කලාගල්” යන්න පාලි
භාෂාවට නැගුණු විට “කාලසේල” වූ බවයි එතුමා පිළිගැනීම. එසේම පුරාණ සිංහල
ලේඛනවල ධාතුසේන යන නාමය හැඳින්වෙන්නේ “දාසෙන්කුලිය” යනුවෙනි. පරණවිතාන
සූරීන් මෙහි එන “කුලිය” යන වචනය ධාතුසේන රජතුමා හඳුන්වනු වස් යොදන ලද්දක්
බව පෙන්වා දෙයි. මෙමගින් හෙතෙම වෙර දරනුයේ අවුකන විහාරය ධාතුසේන රජතුමා
විසින් ඉදි කරවන ලද්දකැයි කියා කීමටයි. අවුකන පිළිමය ධාතුසේන රජතුමා ගේ
කාලයට අයත් වූ බව ඔහුගේ පිළිගැනීමයි.
කාල නිර්ණය පිළිබඳව වූ විද්වතුන්ගේ මතඅවුකන බුදු
පිළිමයේ කාල නිර්ණය පිළිබඳව දෙස් විදෙස් විද්වතුන් අතර විවිධ මත පවතී. ඒවා
අතර මෙය 12 වැනි සියවසේ දී මහා පරාක‍්‍රමබාහු රජතුමා (කි‍්‍ර. ව. 1153 -
1186) විසින් කරවන ලද්දක් යැයි බරෝස් මහතා පෙන්වා දෙයි. එනමුත් මෙකී මතය
සනාථ කරනු වස් කිසිදු සාධකයක් මෙතෙක් හමු වී නොමැත. වින්සන්ට් ඒ. ස්මිත්
මහතා ද මෙම මතය පිළිගෙන ඇත. ආනන්ද කේ. කුමාරස්වාමි මහතා ගේ මතය වනුයේ අවුකන
බුදු පිළිමය 12 වැනි සියවසේ අග භාගයට හෝ 13 වැනි සියවසේ මුල් අවදියට අයත්
බවයි.මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් පුරාවිද්‍යා කොමසාරිස්වරයා වශයෙන්
සේවය කළ අවදියේ (1940 - 1956) ද අවුකන බුදු පිළිමය 5 වැනි සියවසේ අග භාගයට
අයත් බව පෙන්වා දී තිබුණි. ඉන් පසුව වර්ෂ 1952 දී පමණ අවුකන පිළිම ගෙයි
නැගෙනහිර බිත්තියෙහි සවිකොට තිබී සොයා ගන්නා ලද සෙල් ලිපිය 8 වැනි සියවසට
අයත් බව පරණවිතාන සූරීන් පිළිගෙන ඇත.
ප‍්‍රතිමා ලක්ෂණඅවුකන බුදු පිළිමය නෙලන ලද හෙළ කලාකරුවාගේ
මුළු ශක්තිය යොදවා තිබෙනුයේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ මහා ගුණ සමුදාය
බුදු පිළිමයෙහි මුහුණෙන් පිළිබිඹු කිරීමට ය. අරුණෝදයේ නැග එන අරුණළු දෙස
බලන මුහුණෙහි දෙනෙත් භූමිය දෙසට යොමු වී තිබීම උන්වහන්සේගේ මහා කාරුණික
භාවය පිළිබිඹු කරයි. පද්මාසනය මත වූ හිටි පිළිමය සමභංග ක‍්‍රමයට ඉදි කොට
ඇත. මෙකී ක‍්‍රමයට ශරීරයේ බර දෙපාවලට සම සමව බෙදී යන සේ ශරීරය ඍජුව තබාගෙන
සිටින බව සැලකුව මැනව. උන්වහන්සේ විසින් දේශනා කරන ලද පරම ශාන්තියේ
ආශිර්වාදය දසත විහිදවනු වස් ඔසවන ලද දකුණු හස්තය අභය මුද්‍රාවෙන් යුක්තය.
වම් හස්තය උරහිස මට්ට්මට ඔසවා සිවුර අල්ලා ගෙන සිටිනා ආකාරය කටක
මුද්‍රාවෙන් යුක්තයි. තනිපට සිවුර, අඳනය හා පටිය යනාදියෙන් යුක්තයි.ඇස්වට
හන්දියේ සිට අඟල් 4 ක් පමණ ඉහළින් අඳනට ඇද ඇත. සිවුර පොරවා ඇත්තේ අඳනයේ
නුවාට පෙනෙන ලෙස අඳනයේ යටි සීමාවට අඟල් 4 ක් පමණ උඩින් ය. පටිය නොපෙනෙයි.
සිවුර ඒකාංශපාරුපන ක‍්‍රමයට පොරවා ඇත. මෙකී ක‍්‍රමය නිසා දකුණු උරය විවෘත
ය. වම් උරය මුළුමනින්ම සිවුරෙන් වැසී ඇත.මෙහි දී සිවුර පෙරවීමේ ක‍්‍රමය
පිළිබඳව විශේෂ අවධානය යොමු කිරීම වැදගත්ය. සාමාන්‍යයෙන් පිටුපසින් වම් උරය
මතට වැටෙන සිවුරු පොට මුලින්ද ඉදිරිපසින් එක් උරහිස මත වැටෙන සිවුරු පොට
දෙවනුව ද පෙරවීම අනුරාධපුර යුගයේ අවසන් භාගය දක්වා පැවති ක‍්‍රමයයි. මෙකී
ක‍්‍රමයට සිවුර පොරවන විට වම් හස්තයේ මැණික්කටුව දක්වා සිවුරු පොටවල් දෙක
පැතිරී ඇත. ඒ නිසා වම් හස්තය පහළ දැමිය නොහැකිය.යම් අයුරකින් වම් හස්තය
පහළට දමා තිබුණොත්? සිවුරු පොට ද පහළට වැටෙනු ඇත. සැබවින්ම එය සංවරයට
බාධාවකි. එහෙයින් වම් හස්තය ඔසවා තබා ගැනීමට සිදුවෙයි. සිවුරෙහි ඇත්තේ් තනි
රැල්ලකි. මෙය අනුරාධපුර යුගයේ බුදුපිළිමවල දකින්නට ලැබෙන විශේෂ වූ
ලක්‍ෂණයකි. බුදුපිළිම හිසෙහි දක්‍ෂිණාවර්ත කෙස් රොද වේ. හිස මුදුනෙහි අර්ධ
ගෝලාකාර සංකේතයක් හා එය මත සිරස්පතක් වේ. අර්ධ ගෝලාකාර සංකේතයක් හා එය මත
සිරස්පතත් මේ අර්ධ ගෝලාකාර ලක්‍ෂණයෙන් සංකේතවත් වනුයේ හිසින් ඉහළට විහිදෙන
බුදු රැසයි. මෙය අනුරාධපුර යුගයේදී ‘රංසිපුඤ්ජ’ නමින් හැඳින්විය.
දේවාතිදේවත්වයඅවුකන පිළිමයෙහි පිළිසකර කිරීම් කටයුතු වර්ෂ
1956 වන තුරුම කරගෙන යන ලදී. මෙකී පිළිසකර කිරීම් කටයුතු වලදී ඉතාමත්
වැදගත් වූ පුරාවස්තු රාශියක්ම සොයා ගන්නා ලදී. බුදු පිළිමයෙහි දෙපා ද
ඉදිරිපස සඳකඩ පහණක හැඩයෙන් යුතු වූ ගල් ආසනයක පිහිටියේය. මෙම ගල් ආසනය
උසින් අඩි 3 කුත් අඟල් 10 ක් හා විෂ්කම්භයෙන් අඩි 15 කුත් අඟල් 3 කින්
යුක්තය. එසේම මෙය අඟල් 6 ක් පමණ පොළොවට ගිලා බැස ඇත. බුදු පිළිමයෙහි දෙපා ද
පිහිටි මට්ටමට ගල් ආසනය උස් කරවා සිමෙන්ති බදාමයෙන් බැඳීම පිණිස ගල් ආසනය
වෙන් කළ විට බුදු පිළිමය යටින් හතරැස් වූ කුහරය (ගර්භ පාත‍්‍රයක්) මතු වී
ඇත. මෙය කුඩා කුහර 25 කින් යුක්ත විය. මැද කුහරය බ‍්‍රහ්මයා සඳහා ද ඒ අවට
වූ කුහර සතරවරම් දෙවියන් (ධුතරාෂ්ට‍්‍ර, වෛශ‍්‍රමන, විරූපාක්‍ෂ, විරූඪ)
සඳහා ද වෙන්ව තිබේ. එකල ලක්දිව බුදු පිළිම ආසනයට කුහර 9 කින්් හෝ 25 කින්
යුත් කුහරයක් තැම්පත් කිරීම සිරිතක්ව පැවතුණි. මෙයින් සංකේතවත් වනුයේ
බුදුරජාණන් වහන්සේ දේවාති දේව බ‍්‍රහ්මාති බ‍්‍රහ්ම හෙවත් දෙවි බඹුන්
ඉක්මවා සිටින බවයි. කෙලෙස්වලින් මිදුන නිසාත් ශාරීරික දෙතිස් මහා පුරුෂ
ලක්‍ෂණ ඇති නිසාත් බුදුරජාණන් වහන්සේ මෙහි මහා පුරුෂයෙකු වශයෙන් ද පෙනී
සිටිති.විද්වතුන්ගේ අදහස් හා කාව්‍ය සංකල්පනා කලාවිශාරද වින්සන්ට් ඒ.
ස්මිත් මහතා මෙසේ කියයි.“දිවයිනේ අති විශාල වූද අතිශය චමත්්කාරජනක වූද බදු
පිළිමය මෙය වේ”ඉතිහාසඥ බරෝස් මහතා මෙසේ කියයි.“ සිවුරෙහි සහ අඟපසඟයෙහි සෑම
කොටසක්ම පරිපූර්ණව ද නිවැරදිව ද නිමවුණු අතර මුහුණෙහි විලාශය සහ හැඩය නිසා
ශාන්ත සමාධියෙන් නිමග්න වූ මහෝත්තම භාවයක් පිළිබිඹු වේ. පටු ගල් තීරයකින්
පර්වතයට යම්තම් සම්බන්ධ වේ. නැගෙනහිර දෙසට මුහුණ ලා වැඩ හිඳින මේ පිළිමය
අවටින් දිස්වන නිල් වනය කලා වැවෙන් වතුර ලැබූ සරු සාර කෙත් යායක්ව පැවති කල
කලාවැවෙහි ඉවුරේ සිට බැලිය හැකි වූවා විය යුතුය.
උපුටා ගැනීම
මහදිසාවේ බණ්ඩාර ඇටිපොළ
