Sunday, May 24, 2015

බුදු රුවින් නිරූපිත මුද්‍රා


මුද්‍රා භාවිතය ඉතිහාසයේ ආරම්භ වූයේ කෙදිනක දැයි හරිහැටි කිව නොහැකිය. මිනිසා නොදියුණු දඩයම් යුගයේ හස්ත මුද්‍රාව භාවිත වූ බවට සැක කළ හැකිය. සතෙකු දඩයම් කර ගැනීමෙදී, සතාට නො දැනෙන්නට අදහස් හුවමාරු කර ගැනීම අවශ්‍ය විය. එහිදී හස්ත මුද්‍රාව උපයෝගී කර ගන්නට ඇත.අපේ ජාතක කතාවලත් භාරත මුද්‍රාවේත් අදහස් හුවමාරු කර ගත් බවට සාධක ඇත. මහෟෂධ පණ්ඩිතයෝ අමරා දේවිය සමග අදහස් හුවමාරු කර ගත්තේත් හස්ථ මුද්‍රාවෙනි.නාට්‍ය කලාවේ එන සතර අභිනය වලින් එකක් නම් ආංගික අභිනයයි. එනම් අඟ පසඟ යොදා ගනිමින් අදහස් ප‍්‍රකාශ කිරීමයි. මේ අනුව අතීතයේ පටන් ම අදහස් ප‍්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස හස්ත මුද්‍රාව යොදා ගෙන ඇති බව පෙනේ.ලාංඡනය, සංඥාව, වලංගු බව හඟවන සළකුණ, මෙ ආදි විවිධාර්ථ මුද්‍රා යන්නෙහි අන්තර්ගතව ඇත. රාජකීය ලාංඡනය හඟවන්නේ රාජ්‍ය මුද්‍රාවෙනි.ලියකියවිලිවල වලංගු බාවය සනාථ කිරීමට ද අත්සන සහිත මුද්‍රාව අවශ්‍යමය.
සංකේතබුද්ධ ප‍්‍රතිමා බිහි වන්නට පෙර විවිධ සංකේත මගින් බුදුරුව නිරූපණය කරනු ලැබීය. ධර්ම චක‍්‍රය, බෝ පත, ස්තූපය, සිරිපතුල, ඒ අතර වැදගත් සංකේතය.සංඝයා හැඳින්වීමට ලකුණක් ලෙස පැරණි සෙල් ලිපිවල වටාපත යොදා ගෙන ඇත. සෞභාග්‍යයේ සංකේතය ලෙස හක්ගෙඩිය යොදාගෙන ඇති බව අනුරාධපුරයේ මුරගලින් ඔප්පු වේ.ඡත‍්‍රය රාජකීය බව හැඟවීමේ ලකුණයි. පක්ෂීන් හා සිව් පා සතුන් ද සංකේත ලෙස යොදාගෙන ඇති බවට සාධක පවතී.
ප‍්‍රතිමා මුද්‍රාප‍්‍රතිමා කලාව නිර්මාණයත් සමගම දෙ අත් සහ ඇඟිලි යොදා ගනිමින් සංකේතාත්මකව අදහස් දැක්වීම මුල්කරගෙන විවිධ මුද්‍රා නිර්මාණය විය. ප‍්‍රථම වරට මෙම මුද්‍රා යොදා ගනු ලැබුවේ බුද්ධ ප‍්‍රතිමා වලය. පසුව වෙනත් ආගම් වලද ප‍්‍රතිමා නිර්මාණයේදී මුද්‍රා යොදා ගන්නා ලදී.දේව රූප නිර්මාණයේදී මුද්‍රා දැක්වීම අත්සන ඇඟිලි පමණක් යොදා ගනු නොලැබිණි. අතට ගත් ආයුධයක් හෝ වෙනත් උපකරණයක් සංකේත ලෙස යොදා ගත්හ. එහෙත් බුද්ධ ප‍්‍රතිමාවල මුද්‍රා සඳහා වෙනත් සංකේත යොදාගෙන නැත.බුදුපිළිම වල සංකේත යොදා ගත්තේ බුදුරදුන්ගේ ධර්මදේශනා විලාසය දැක්වීමටයි. ඒ අතර පිළිගත් සම්මත මුද්‍රා දහතුනක් ඇත.එනම්1. ධ්‍යාන මුද්‍රාව2. ධර්ම චක‍්‍ර මුද්‍රාව3. අභය මුද්‍රාව4. විතර්ක මුද්‍රාව5. භූමි ස්පර්ශ මුද්‍රාව6. වරද මුද්‍රාව7. කටක මුද්‍රාව8. ගජ හස්ත මුද්‍රාව9. කර්තරී හස්ත මුද්‍රාව10. අඤ්ජලී හස්ත මුද්‍රාව11. කටක විලම්බීත හස්ත මුද්‍රාව.12. ලෝල හස්ත මුද්‍රාව13. ශුචි හස්ත මුද්‍රාව
මීට අතිරේකව ඥාණ මුද්‍රාව අභිශේත මුද්‍රාව, වජ‍්‍රහුංකාර මුද්‍රාව වශයෙන් තවත් මුද්‍රා කිහිපයක්ම ඇති බව විචාරකයෝ පවසති. උගතුන් අතර ඒ පිළිබඳ පවතින මතද විවිධය. ඇතැම් මුද්‍රා ලංකාවේ බුද්ධ ප‍්‍රතිමාවල දක්නට නැත.එබැවින් ප‍්‍රකට මුද්‍රා කිහිපයක් පිළිබඳව පමණක් අපි විමසා බලමු.
ධ්‍යාන මුද්‍රාවසමාධි පිළිම වල දක්නට ඇති ලක්ෂණයකි ධ්‍යාන මුද්‍රාව. පාදයන් නමාගෙන දකුණු පතුල උඩට හරවා වම් කලවය මතත් වම් පතුල උඩට හරවා දකුණු කලවය මතත් සිටින සේ උඩුකය සෘජුව තබා හිඳගෙන, වම් අල්ල උඩ දකුණු අල්ල පිහිටුවා සිටීම මෙම මුද්‍රාවේ විශේෂත්වයයි. සමාධි පිළිමය ඊට නිදසුනකි. ලංකාවේ බොහෝ විහාරස්ථානවල මෙම මුද්‍රාව දැකිය හැකිය.
ධර්ම චක‍්‍ර මුද්‍රාවවම් අතේ මැදගිල්ල උඩ දකුණු අතේ මහපට ඇඟිල්ල හා දබරඟිල්ල එකට එක්කොට තැබීම ධර්ම චක‍්‍ර මුද්‍රාවයි. බරණැස ඉසිපතනාරාමයේදී පස් වග මහණුන් උදෙසා කළ ප‍්‍රථම ධර්ම දේශනාව, (දම්සක් පැවතුම් සූත‍්‍රය) මින් සංකේතවත් කරන බව පොදු පිළිගැනීම වේ.
අභය මුද්‍රාවවැල මිට ළඟින් අත නවා උඩට ඔසවා අල්ල ඉදිරියට පා ඇත්තේ අභය මුද්‍රාවයි. බිය නැති බව, අන් හට අභය දෙන බව විශ්වාසය, ඒකාන්ත බව, සහතික වීම ආදි අදහස් අභය මුද්‍රාවෙන් ප‍්‍රකට කරන බව උගතුන්ගේ පිළිගැනීම වේ. අවුකන බුදු පිළිමය අභය මුද්‍රා සහිත පිළිමයකි.
විතර්ක මුද්‍රාවබුදුරදුන්ගේ දේශනා විලාසයක් පෙන්නුම් කරන මෙම මුද්‍රාව විශෙෂ්යක් නොමැතිව හිටි පිළිමවලත්, ඉඳි පිළිමවලත්, දක්නට ඇත.වැලමිට ළඟින් උඩට නැමූ අතේ මහපට ඇඟිල්ලත් දබර ගිල්ලත් එකට ළංකොට මදක් නැමූ ස්වභාවය දක්වයි. අතේ ඉතිරි ඇගිලි දිග හැරී ඇත. අල්ල ඉදිරියට පෙනේ. සියලු සත්වයන්ට ආරක්‍ෂාව හා ආශීර්වාදය ලබාදීම මින් සංකේත කරයි.
භූමි ස්පර්ශ මුද්‍රාවබුදුරදුන්ගේ මාර විජය අවස්ථාවක් පෙන්නුම් කරයි. මාරයා තමාට සාක්ෂි වශයෙන් දස බිම්බරක් මර සෙනග සිටිතැයි කී විට, බුදුන් වහන්සේ මහ පොළොවට අත දිගුකොට මේ මහ පොළොව මට සාක්ෂියි කී විට මහ පොළොව සෙළවී එය සහතික කළ බව දැක්වෙයි.වැඩසිටින බුදුන්ගේ වම් අත දිග හැර පද්මාසනයේ පා මත අත තබා දකුණු අත නැමූ පාදයේ දණ හිස ළඟින් පහළට දිගු කරගෙන සිටීම භූමි ස්පර්ශ මුද්‍රාවයි. පුරණලද පාරමිතා බලය මින් ප‍්‍රකට කරයි.
වරද මුද්‍රාවදකුණත පහත් කොට ඉදිරියට දිග හැර අත්ල උඩුඅතට හරවා ඇගිලි දිග හැර තිබීම වරද මුද්‍රාවයි. බුදුරදුන්ගේ ආශ්චර්යමත් මනුෂ්‍යත්වය මින් ප‍්‍රකට කෙරේ.

උපුටා ගැනීම
http://www.danuma.lk/sinhala/index.php?option=com_content&view=article&id=19214%3A2010-06-14-06-11-04&catid=80%3Arelegion&Itemid=155&lang=si

පොහොය දොළහේ වැදගත්කම

පොහෝ දිනයන් නියම කරගෙන තිබුණේ බුදුහාමුදුරුවො ලොව පහළ වෙන්නටත් පෙර සිටයි. එකළ මෙකළ මෙන් දින දර්ශන ලිත් සුලභව තිබුණේ නැහැ. ඔවුන් තමන්ගේ ආගමික දිනයන් වෙන්කර ගත්තේ අහසේ සඳ දිහා බලලා.බුද්ධ චරිතයටත්, බුද්ධ ධර්මයටත් වැදගත්වෙන විශේෂ සිදුවීම් රැසක්ම පසළොස්වක පොහෝ දිනයන් හිදී සිදුවී ඇති බව දුවල පුතාලා දන්නවා. ඒ ඒ දිනයන්හි දී සිදුවී තිබෙන වැදගත්ම සිදුවීම් මොනවාදැයි දැනගැනීම ඔයාලට ප‍්‍රයෝජනවත් වෙනවා. අද අපි ඒ පිළිබඳව විමසා බලමු.
බුදුහාමුදුරුවෝ පහළ වන විට අත්‍ය තාපසවරු පොහොය දින ආගමික දිනයක් හැටියට යොදාගෙන තිබුණා. අමාවක, අටවක, අව අටවක, පසළොස්වක කියලා සතර පෝයක් නියම කරගෙන ඒ දිනවල ආගමික කටයුතුවල නියැලුණා.දවසක් බිම්බිසාර රජතුමා බුදුහාමුදුරුවෝ හමුවට ගිහිල්ලා සතර පෝය බෞද්ධයින්ට ආගමික දිනයක් ලෙස යොදාගැනීම පිළිබඳ යෝජනා කළා. කාගේ වුණත් හොඳ යෝජනා වලට ගරු කිරීම බුදුහාමුදුරුවන්ගේ උතුම් සිරිතක්. ඒ අනුව තමයි පෝය දවස බෞද්ධයන්ගේ ඉතා වැදගත් දිනයක් හැටියට සළකන්න වුණේ.
සතර පෝයඑදා මෙදා සිට බෞද්ධයෝ පෝය සතරටම නැති වුණත් පසළොස්වක පෝයදාට පන්සල් යෑම, මල් පහන් පූජා කිරීම, බණ ඇසීම, සිල් සමාදන්වීම, සිරිතක් කොටගෙන තියෙනවා.පොහොය දිනය වැදගත් සුවිශේෂී දිනයක් බවට හේතු සාධක බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා. ශක‍්‍ර ආදී දෙවියන් පවා පොහොය දිනයන් හි මිනිස් ලොවට පැමිණ මිනිසුන් පින් කරන හැටි බලා පී‍්‍රති වී මිනිසුන්ට ආශීර්වාදය කරන බවත් සඳහන් වෙනවා. ඒ නිසා පොහෝ දිනවල පින්කම් සිදුකිරීමෙන් පින් රැස් කරගන්නවා මෙන්ම දෙවියන්ගේ ආශීීර්වාදයත් ලබාගන්නා ක‍්‍රමයක් බවත් සැලකෙනවා.දැන් අපි දොළොස් පෝය වැදගත් වීමට හේතු මොනවා දැයි විමසා බලමු.
දුරුතු පොහොයජනවාරි මස යනුවෙනුත් දුරුතු මස හඳුන්වනවා. බුදුහාමුදුරුවෝ ප‍්‍රථම වතාවට ලංකාවට වැඩම කළේ මහියංගනයටය. ඒ බුද්ධත්වයෙන් නවවෙනි මාසයේ දුරුතු පුර පසළොස්වක් පෝදා බුදුන්වහන්සේගේ පැමිණීම ගැන කිපුණු ලංකාවේ සිටි යක්‍ෂ හා නාග ගෝති‍්‍රක අය පැමිණ උන්වහන්සේ සමග සටනට සූදානම් වුණා. බුදුහාමුදුරුවෝ ඔවුන්ට මිහිරි හඩින් ධර්මය දේශනා කළා. හැමෝම දමනය වුණා. ඒ ධර්මය අසා සිටිය සුමන සමන් දෙවියන් ද සෝවාන් බවට පත්වුණා. සුමන සමන් දෙවියන්ගේ ඉල්ලීම පරිදි බුදුරදුන් හිස පිරිමැද කේශධාතු මිටක් ප‍්‍රදානය කළහ. සුමන සමන් දෙවියන් ඒ කේශධාතු තැන්පත් කොට ඉඳුනිල්වන් ගලින් රියන් හතක් උසැති සෑයක් බැන්ද වූවා. මෙය තමයි ලෝකයේ ප‍්‍රථම වරට ඇති වූ චෛත්‍යය.මේ සියලු සිදුවීම් වූයේ දුරුතු පොහොය දිනයක, මිහිඳු මහ රහතන්වහන්සේට ලක්දිවට පැමිණ සදහම් බීජය වපුරන්නට ක්‍ෂෙත‍්‍රය සදා දුන් දුරුතු පොහොය අති ශ්‍රේෂ්ඨ පොහොය දවසක්.
නවම් පොහොයබුදු සසුණේත් බුද්ධ චරිතයේත් උදාර සිදුවීම් රැසක් සිදුවුණු ඓතිහාසික පූජනීය දිනයක් ලෙස නවම් පුර පසළොස්වක් පොහොය වැදගත් වෙනවා.සුදුස්සන්ට සුදුසු තැන ලබාදීම බුද්ධ චරිතයේ කැපී පෙනෙන ලක්‍ෂණයක් සැරියුත් හාමුදුරුවන්ට හා මුගලන් හාමුදුරුවන්ට අගසව් තනතුරු දීම ඊට හොඳම නිදසුනක්. මුලින් පැවිදි වූ භික්‍ෂූන් සිටිය දී ළඟදී සසුනට ඇතුළු වූ සැරියුත් - මුගලන් හිමිවරුන්ට අගසව් තනතුරු දීම ගැන ඇතැම් භික්‍ෂූන් දොස් නැගුවා.සැරියුත් - මුගලන් දෙනම සංසාරයේ දීර්ඝ කාලයක් අගසව් තනතුරු පතාගෙන ඒ සඳහා අවශ්‍ය පින් රැස්කරගත් නිසා එම තනතුරුවලට සුදුස්සන් ඒ දෙනම ම බව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළ සේක. සම්බුද්ධ ශාසනයෙහි ප‍්‍රථම වරට මහා සංඝ සන්නිපාතය සිදුවූයේත් නවම් පසළොස්වක් පොහෝ දවසක. තථාගතයන්වහන්සේ විසින් මහා සංඝයාට ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වදාළේත් නවම් පුණු පොහෝ දිනයක. ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය කියන්නේ භික්‍ෂූන්වහන්සේලාට හික්මීම පිණිස අවශ්‍ය විනය මාලාව, අල්පායුෂ්ක බුදුවරුන්ගෙ ශාසනවල ඕවාද ප‍්‍රාතිමෝක්‍ෂය වදාරන්නේ මුල් අවුරුදු විස්ස තුළය. ගෞතම බුද්ධ ශාසනය ද එවැන්නක්. අතීතයේ ලොව පහළ වූ විපස්සී නම් බුදුන් අවුරුදු අසූදහසක් ද, සිඛී නම් බුදුන් අවුරුදු හැත්තෑදහසක් ද, කකුසඳ බුදුන් අවුරුදු හතළිස් දහසක් ද, කෝණාගම බුදුන් අවුරුදු තිස්දහසක් ද, කාශ්‍යප බුදුන් අවුරුදු විසිදහසක් ද, පරමායු විඳ ඇත. ගෞතම බුදුන්ගේ ආයු කාලය අවුරුදු අසූවකි. මෙතෙක් කාලයකින් පිරිනිවන්පාන්නේමියි. කාලය සීමාකර ගැනීම ආයු සංස්කාරය හැරීමයි. එය ද සිදුවුණේ නවම් පුර පසළොස්වක දවසකය.
මැදින් පොහොයහේමන්ත ඍතුවේ මැදින් මස නොහොත් මාර්තු මාසයේ පුර පසළොස්වක පොහොය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳව අසිරිමත් සිදුවීම් සිහිකෙරෙන දිනයක්.බුදුරදුන් විසිදහසක් පමණ මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන රජතුමා ඇතුළු තම ඥාතීන්ගේ සිත සුව පිණිස කිඹුල්වත්පුරයට වැඩම කළේ මැදින් පොහෝ දවසක.පියරජු අනාගාමී වීම, යශෝදරාව සැනසීම, නන්ද හා රාහුල කුමරු පැවිදි වීම, ඥාතීන්ගේ මානය නැති කිරීමට යමාමහ පෙළහර පෑම හා ඔවුන් යහමගට යොමු කරවීම මේ ගමනේ අතුරු ඵල හැටියට සඳහන් කරන්න පුළුවන්.
බක් පොහොයබක් මාසය නොහොත් අපෙ‍්‍ර්ල් මාසය අප කාගේත් සිත්සතන් සොම්නස් සුවයෙන් සැනසෙන මාසයක්. බුදු සිරිතේ ද අසිරිමත් සිදුවීම් අප මනසට නැගෙන්නේ හදවත අමා සිසිලට පත් කරමින්.මේ සුන්දර දිවයින දෙවැනි වරටත් බුදු සිරිපා පහසින් පිවිතුරු බවට පත් වුණේ බක් පොහෝ දවසක.චූලෝදර, මහෝදර යන නා රජුන් දෙදෙනා අතර මැණික් පුටුවක් අරබයා ආරවුලක් ඇති වුණා. මේ ආරවුල බුදුන්වහන්සේ දිවැසින් දුටුසේක. උන්වහන්සේ ඔවුන් කෙරෙහි කරුණාවෙන් ඔවුන්ට සුවසෙත සලසනු පිණිස බක් මස අව පසළොස්වක දා අළුයම ඍද්ධියෙන් නාගදීපයට වැඩි සේක. ඒ බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයේ.මේ ගමනට දෙව්රම් දොරටුවේ කිරිපලු රුක අරක්ගෙන සිටි සමිද්ධි සුමන නම් දෙවියා තමාගේ වාස භවනය වන කිරිපලු වෘක්‍ෂය ජත‍්‍රයක් මෙන් ඔසවා ගෙන ආවා. මහෝදර නා රජුගේ මාමා වූ මණිඅක්ඛික නාග රාජයා කැලණියේ සිට බෑනාට උදව් පිණිස පැමිණ සිටියා. බුදුරදුන්ගේ ප‍්‍රථම ලංකා ගමනෙදී බණ අසා සරණ සිල් පිහිටා සිටි මණිඅක්ඛික නා රජු එදින බුදුන්වහන්සේට තමාගේ වාස භවනය වූ කැලණියට වඩින ලෙස ආරාධනා කළා. මෙම ඓතිහාසික සිද්ධිවලින් ශ්‍රේෂ්ඨතවයට පත් බක් පෝය පී‍්‍රතිය උපදනා දිනයකි.
වෙසක් පොහොයබුදුරජාණන්වහන්සේ ලොව පහළ වීම, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම යන ති‍්‍රවිධ මංගල්‍ය සිදුවුණේ වෙසක් පෝය දා බව ඔබ දන්නවා.ගෞතම බුදු පදවිය සඳහා සුමේධ තවුස්ව, දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලැබුවේ ද වෙසක් පෝදාක.< br/>බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කොට කැලණිය ශී‍්‍ර පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් කළ උතුම් දවස වෙසක් පුන් පොහෝ දාය.සුමන සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමනළ සිරස මත ශී‍්‍ර පාද ලාංඡනය පිහිටුවීම. සොළොස්මස්ථාන නමින් හඳුන්වන ස්ථාන දහසයහිම සමවත් සුවෙන් වැඩහිඳ පුදබිම පිරිසිදු කිරීම සිදු කළෙත් වෙසක් පෝ දා. සිංහල ජනවංශයේ ආදිතමයා වන විජය කුමරු හත්සියයක් පිරිස සමඟ ලාට රට සිට ලක්දිවට පැමිණියේ ද වෙසඟ දිනයක බව වංශ කතාවල සඳහන් වෙනවා.දේවානම්පියතිස්ස රජු දෙවැනි වර රාජාභිශේක ලැබීම, දුටුගැමුණු මහ රජු රුවන්වැලිසෑයට විසා නැකතින් මුල්ගල් තැබීම ද සිදුවුණේ උතුම් වෙසක් පුර පසළොස්වකදා ය.
පොසොන් පොහොයමිහිඳු මහරහතන්වහන්සේ විසින් සම්බුද්ධ ධර්ම දායාදය ලක්දිවට ගෙනවුත් ලක්දිව බුද්ධ ශාසනය පිහිටුවීම සිදුවුණේ පොසොන් පොහොය දාය.දෙවනපෑතිස් නිරිඳු ඇතුළු හතළිස්දහසක් පිරිසකට චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය දේශනා කිරීම, භණ්ඩුක කුමරු පැවිදි උපසම්පදා කරවීම සිදුවුණෙත් පොසොන් පෝ දා.කෙටියෙන් සඳහන් කරතොත් නිර්මල සංස්කෘතියක් හා සභ්‍යත්වයක් ඇති ශිෂ්ට සම්පන්න අදීන ජාතියක් වශයෙන් සිංහල ජාතිය ලොව පුරා පැතිර ගියේ මේ උතුම් පොසොන් දවසේ සිදුවූ උත්කෘෂ්ඨ සිදුවීම් නිසාය.
ඇසළ පොහොයසුද්ධෝදන ශාක්‍ය රජතුමාගේ අග මෙහෙසිය වන මහාමායා දේවිය කුස සිදුහත් කුමරු පිළිසිඳ ගත්තේ ඇසළ පුණු පොහෝ දිනකය.ගිහිගෙය අතහැර අභිනිශ්ක‍්‍රමණය කිරීම, ප‍්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම, ගණ්ඩම්බ රුක්ඛ මූලයෙහි දී තීර්ථකයන් දමනය කිරීම සඳහා යමාමහ පෙළහර පෑම, තව්තිසා දෙව්ලොවට වැඩ මාතෘ දිව්‍යරාජයාට විජම් බණ දෙසීම වැනි බුදු සිරිතේ ඉතා ඓශ්චය¸මත් සිදුවීම් සිදුවුණේ ඇසළ පුර පසළොස්වක දාය.රාහුල කුමරුන්ගේ උපත සිදුවී ඇත්තේ ද මෙදිනයි. බුද්ධ පරිනිර්වාණයෙන්තෙමසකට පසු මහා කාශ්‍යප මහරහතන්වහන්සේ ප‍්‍රධාන රහතන්වහන්සේලා පන්සියයක් සහභාගීත්වයෙන් අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහනුවර වේහාර පර්වත මූලයෙහි දී ප‍්‍රථම ධර්ම සංගීතිය පවත්වා ඇත්තේ ද ඇසළ පෝ දාකය.ලංකාවේදී ප‍්‍රථම වස් සමාදානය සිදුවී ඇත්තේ ද මෙවැනි දිනකය. බු: ව: 847 දී කිත්සිරි මෙවන් රජු දවස කළිඟ රටින් හේමමාලා කුමරිය හා දන්ත කුමරුන් විසින් ගෙනෙන ලද දළදා ස්වාමීන්වහන්සේ පළමු වරට ප‍්‍රදර්ශනය කළේත් ඇසළ පොහෝ දවසකයි.කීර්ති ශී‍්‍ර රාජසිංහ රජතුමා සියම් රටින් උපාලි තෙරුන් ඇතුළු සංඝයා ගෙන්වා ලක්දිව උපසම්පදා කම¢ය ඇතිකිරීම ද ඇසළ පෝදා විශේෂ සිදුවීමකි.කතරගම, දෙවිනුවර, මහනුවර, රත්නපුර, ඇම්බැක්කේ, අලුත්නුවර, බෙල්ලන්විල පෙරහැර පැවැත්වීම ද ඇසළ පෝය දා සිදුවේ.
නිකිණි පොහොයභික්‍ෂූන්වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියමව ඇත. එම දින හඳුන්වන්නේ පෙර වස පසු වස යනුවෙනි. ඇසළ පුනු පොහෝ දිනයේ පෙහොය කොට ඇසළ අවපෑළ දිනයේ පෙර වස් එළඹිය යුතුය. නිකිණි පුන් පොහෝ දා පෝය කොට නිකිණි අව පෑලවිය දා පසු වස් එළඹීම කළ යුතුය. ධර්ම භාණ්ඩාගාරික වූ ද අග‍්‍ර උපස්ථායක වූ ද ආනන්ද හාමුදුරුවන් රහත් බවට පත් වූවේ ද නිකිණි පෝදාය.වංශ කතා අනුව බුදුන්වහන්සේගේ ලලාට ධාතුව නිධන් කොට සේරුවිල චෛත්‍ය තැනීමේ ඇරඹුම වූයේ ද නිකිණි පොහෝ දිනයකයි.
බිනර පොහොයබුදුරජාණන්වහන්සේගේ ලලාට ධාතුව තැන්පත් කොට තනා ඇති සේරුවාවිල මහා සෑයේ වාර්ෂික පින්කම පැවැත්වෙන්නේ බිනර පොහොය මුල්කරගෙනය. මෙදින වස් කාලය බැවින් සියලුම විහාරස්ථානවල විවිධ පින්කම් පැවැත්වේ. මෙම පින්කම්වලට බෞද්ධ පින්වතුන් සහභාගීවන්නේ ඉතා ඕනෑකමිනි.සරත් ඍතුවේ ආරම්භය ද බිනර පුර පසළොස්වක් පොහොයයි. සරත් ඍතුව ස්වාභාවික සෞන්දර්ය රසයෙන් අවට පරිසරය පවා ආලෝකවත් වන සමයකි.
වප් පොහොයපුරා තුන්මසක් මුළුල්ලේ සක් දෙවි රජුන්ගේ පඬුපුල් අසුනේ වස්වසා වැඩ සිට වස් පවාරණය කොට බුදුරදුන් සංකස්ස පුරයට වැඩම කළේ වප් පොහෝ දවසකය.අනුබුදු මිහිඳු මහ රහතන්වහන්සේගේ නියමයෙන් දෙවන පෑතිස් රජුගේ සංදේශයත් තුටු පඬුරුත් රැගෙන ලක්දිවින් අරිෂ්ඨ කුමරුන් ප‍්‍රමුඛ දූත පිරිස දඹදිව පැළලුප් නුවර ධර්මාශෝක රජු හමුවනු පිණිස පිටත්ව ගියේ වප් පුනු පොහෝ දවසකය. මිහිඳු මහ රහතන්වහන්සේගේ අනුදැනුම ඇතිව මහාරිට්ඨ මහ රහතන්වහන්සේ ථූපාරාම විහාරයේ දී මහා සංඝයා පිරිවරාගෙන විනය පිටකය සංගායනා කළේත් වප් පොහෝ දවසකය.සැරියුත් හිමියන් නුවණින් අගතැන් ලැබීම, මෙතේ බෝසතුන් සසුනෙහි පැවිදි බව ලැබීම මේ ආදී කරුණු රැසක් නිසාම වප් පුර පසළොස්වක් පොහොය වැදගත් වේ.
ඉල් පොහොයවස්සාන ඍතුවේ අවසාන පොහොය ඉල් පුර පසළොස්වක් පොහොයයි. මෛති‍්‍රය බෝධි සත්වයන්වහන්සේ විවරණ ලැබීම, ප‍්‍රථම ධමර්‍දූත පිරිස වන රහතන්වහන්සේලා හැටනම ධමර්‍ප‍්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, චීවර මාසයේ අවසාන පොහොය වීම, සැරියුත් මහ රහතන්වහන්සේගේ මව ධම¢ය අසා සෝවාන් වීම, සැරියුත් මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑම, ඉල් පොහොය දා සිදු වූ සුවිශේෂ සිදුවීම්ය. මෙම සිදුවීම් නිසා ඉල් පොහොය බෞද්ධයන්ට වැදගත් වේ.
උඳුවප් පොහොයදෙවන පෑතිස් මහ රජුගේ ආරාධනය අනුව සංඝමිත්තා රහත් මෙහෙණින්වහන්සේ ශීී‍්‍ර මහා බෝධි දකුණු ශාඛාව ලංකාවට වැඩම කළේ උඳුවප් පොහෝදාය.ලංකාවේ මෙහෙණි සස්න ආරම්භ වීම සිදුවූයේ ද මෙදිනය. මේ නිසා  ලාංකික කාන්තාවන්ට ලැබුණු නිදහස අපමණය.බෝධීන්වහන්සේ වැඩම කරවීම නිසා බෝධි පූජා පැවැත්වීම ද ආගමික චාරිත‍්‍රයක් බවට පත්විය. මේ අනුව උඳුවප් පොහොය ද ශී‍්‍ර ලාංකික බෞද්ධයන්ට අතිශය වැදගත් දිනයක් බව කිව යුතුය.

උපුටා ගැනීම www.danuma.lk
සුරත් සමරකෝන්




Saturday, May 9, 2015

ලෝකයේ ලස්සනම වචනය අම්මා

ලෝකයේ ලස්සනම වචනය අම්මා

ඒත් අද අම්මලා ඉන්නේ කොහේද?

”ඔබට ඔබේ අම්මා ගැන මොනවද කියන්න තියෙන්නේ” මම යෙහෙළියකගෙන් විමසුවෙමි.
”අපෙ අම්මා ගැන කොච්චර දේවල් කියන්න තියෙනවද? කවදාවත් මට අම්මගෙ ගුණ කියලා නිම කරන්න බැහැ. මල් තියලා අම්මාට වැන්දත් පව් නැහැ. අපේ පවුලේ ඔක්කොම දරුවෝ දහ දෙනයි. අපිව ලොකු මහත් කරන්න අම්මා කොච්චර නම් දුක් වින්දද? දැන් අම්මට අවුරුදු අනූවක් විතර වෙනවා. ඒත් එදා දරුවෝ වෙනුවෙන් දහදුක් වින්ද අම්මගෙ දුක සැප සොයලා බලන්නේ කීදෙනාද?”
”ඇයි ඒ...?”
”සමහර නංගිලා මල්ලිලට ගෙදර එන්න වෙලාවක් නැහැ. එයාලට වැඩ වැඩියි. සමහරු ගෙදර එන්නේ අවුරුද්දට විතරයි.”
”අම්මා ඉන්නේ හිතේ අමනාපෙන් ද?”
”අයියෝ නැහැ. අම්මගෙ කරුණාව එදා වගේමයි තාමත්. මේ වෙනකොට අම්මට ටිකක් විතර මතකය අඩුයි. දරුවෝ නිතර දෙවේලේ තමන් බලන්න එනවද නැද්ද කියන එක අම්මට වැදගත් නැහැ. අවුරුද්දක් නෙමෙයි අවුරුදු දෙකතුනකින් දරුවෝ තමන්ව බලන්න ආවත් අම්මා ඒගොල්ලන්ව පිළිගන්නේ හැමදාම තමන්ගෙ ගෙට ගොඩවුණා වගෙයි. අම්මා කවදාවත් කාටවත් වෙනසක් කළේ නැහැ. අපෙ අම්මා අහිංසකයි. අම්මා නපුරුකම්, අඳුනන්නෙම නැහැ.”
යෙහෙළියට එතැනින් එහාට කතා කරගන්නට බැරි විය. ඇගෙ දෑසේ පිරී විසිරී ගියේ කඳුළු අහුරකි.
”අම්මා” ලොව අසන්නට ඇති සුන්දරම වදන. අම්මලා ගැන ඔවුන්ගේ ගුණ ගැන කියන්නට කොතෙකුත් දේ ඇත. අම්මා අවදි වන්නේ හිරුටත් පෙරය. ඇගේ කඩිසර දෑත දරුවන්ගේ දවස පිළියෙල කරන්නීය.
ලොවේ කොයි කාගේත් ‘අම්මා’ සිතන්නේ පතන්නේ එක ලෙසින්ය. අම්මලා දුක් විඳින්නේ ද ඇතැම් විට සමාජයෙන් නින්දා ගැරහුම් අවමාන ලබන්නේ ද දරුවන් නිසාවෙනි. දරුවාගේ ලෝකය සකස් කරන්නේ අම්මාය.
එහෙත් අද අපේ සමාජයේ ‘අම්මාට’ නියම තැන හිමිව ඇත්ද?
මොහොතකට සිතන්න. ඔබ ඔබේ අම්මා ගැන සිතන්න.
ඇතැම්විට ඇය ඇගේ මුළු ජීවිත කාලයම ගෙවා දැමුවේ ඔබ වෙනුවෙනි. ඔබගේ යහපත වෙනුවෙනි.
එහෙත් අවසන් කාලයේදි ඇයට නතර වන්නට සිදුවූයේ කොතැනද?
”දුව මාව ගෙනල්ලා මෙහෙට ඇරලුවා.”
ඈත මාවතට නෙත් යොමාගෙන වැඩිහිටි නිවහනේ කොරිඩෝවේ පුටුවක වාඩි වී හුන් ‘අම්මා’ පැවැසුවාය.
”ඇයි ඒ?”
”එයාට මාව බලාගන්න අමාරුලු. අනිත් දරුවෝ කිව්වෙත් ඒ ටිකම තමයි. අන්තිමට මම තීරණයක් ගත්තා මෙතැනට එන්න. ගෙදර වගේ නෑ තමයි. ඒත් පුතේ යන්න එන්න තැනක් නැතිව දුක් විඳිනවට වැඩිය මෙතැන හොඳා...”
දරුවන්ට සියලු දේ පැවැරූ අම්මා අද වැඩිහිටි නිවහනක කල් ගෙවන්නීය.
දරුවන් වෙනුවෙන් ජීවිත කාලයම කැප කළ ‘අම්මා’ට අද අත්ව ඇති ඉරණම එසේය. හැම අම්මා කෙනෙකුටම එසේ නොවුණද ඇතැම් විට දරුවන් ගැන කිසිදු හැඟීමක් නැති අම්මලා ද මේ අතර වෙති.
නැසීගිය ධර්මසිරි ගමගේ කලාකරුවාණන් ලියූ නැසීගිය සංගීතඥ ප්‍රේමසිරි කේමදාසයන් සංගීතවත් කළ ප්‍රවීණ ගායිකා නන්දා මාලනී ගයන මේ ගීතය අම්මාවරුන්ට උපහාර ගීයක් බඳුය.

අම්මාවරුනේ අම්මාවරුනේ
සම්මා සම්බුදු අම්මාවරුනේ.
දරුවන්ගේ දුක් කඳුළු දකිනදා
සුරලොව සිට අතපා
ඒ කඳුළැලි පිසින...
අම්මාවරුනේ”

අම්මා තැවෙන්නේ ද දැවෙන්නේ ද සැනසෙන්නේ ද දරුවන් නිසාවෙනි. ඇයට තම දරුවා පමණක් නොව ලොව කොයි දරුවාත් තමන්ගේය. ඇය එතරමටම කාරුණිකය. තමන් දුක් විඳිමින් දරුවන්ගේ දුක් නිවන්නේ එබැවිනි. එහෙත් දරුවන් එවන් දුක් ගැහැට විඳි ‘අම්මා’ ට සිය යුතුකම ඉටුකරන්නේ ද?
යුතුකම් හා වගකීම් පමණක් අතරට මැදි වූ සමාජයේ අම්මාට ඇත්තේ කෙබඳු වටිනාකමක්ද?
අදට යෙදෙන්නේ ලෝක මවුවරුන්ගේ දිනයයි. අම්මා වෙනුවෙන් දිනක් වෙන්වීම නම් හොඳය. එහෙත් අපේ අම්මාට එක දිනක් පමණක් සෑහේද? මහවැසි වැටෙද්දි පැලකුත් නැති හේනේ තමන් තෙමෙමින් දරුවා නොතෙමූ, තමන් කුස ගින්නේ සිටිමින් දරුවාගේ කුසගින්න නිවූ, සමාජයේ නින්දා අපහාස ලබමින් දරුවාගේ ලෝකය සොඳුරු කරවූ, දසමසක් කුස හොවා හරිහැටි නින්දක් නොලබා දරුවා ලොවට බිහිකර ලේකිරි කර පෙවූ උත්තරිතර ‘අම්මාට’ එක් දිනක් සෑහේද? ගම හැරදා නගරයට පැමිණි ඔබ ආපසු හැරී බලන්න.
ඔබ අම්මා බලන්න කී වරක් ගමට ගියාද? ඔබ වෙනුවෙන් වෙල් එළිවල ඇවිද ගොස්, කළුගල් තලා කරගැට මතුවූ දෑත් පිරිමදිමින්, කිරිපිහියට කරගැට ආ අම්මාගේ දෑත් දෙපා පිරිමැද ඈ දෙපා නැමද සුවදුක් සොයා බලන්නට කී වරක් ගමට ගියාද?
ගමට යන්නට වෙලාවක් නැතැයි කියා ඇගේ වියදමට මුදල් යැව්වද අම්මාට අවශ්‍ය මුදල්මද? තම ඇකයේ හැඳි වැඩුණු දුව, පුතා මොහොතකට මහගෙදරට ඇවිත් ඈ සෙවණෙ හිඳ යනු දැකීමට ඈ පි‍්‍රය කරන්නීය.
බටහිර සමාජයේ නම් මවුවරුන්ගේ දිනයට අම්මාට සුබ පැතුම් පතක්, මල්කලඹක් හෝ වෙනත් කුමක් හෝ තෑග්ගත් ලැබේ. ඇතැම් විට ඊළඟ වසරේ මැයි මස දෙවනදා මව්වරුන්ගේ දිනය එළඹෙන තුරු දරැැවන් අම්මා බලන්නට යන්නේ නැහැ. අපේ අම්මලාටත් මවුවරුන්ගේ දිනයට එයම සෑහේද? එක දිනක් නොව අවුරුද්දේ දවස් තුන්සිය හැටපහම ඇය වෙනුවෙන් වෙන්කළාට කම් නැත. ඒ ‘අම්මා’ ඇගේ මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැප කළ බැවිනි.
විටෙක හඬමින්, විටෙක හිනැහෙමින්, තම ලෝකයම දරුවන් බව සිතමින් දිවි ගෙවන අම්මලා අතර දරුවන්ගේ ජීවිතවල වටිනාකමක් නොදන්නා අම්මාවරු ද වෙති.
අපි මේ සියලු අම්මලාට අනුකම්පා කරමු. තම දරු පැටවුන් දුක් විඳනු බලා සිටින්නට බැරිකමට දරුවන් සමඟම මිය ගිය අම්මලා අතර උපන් හැටියේ බිළිඳුන් මරා දැමූ අම්මලා සිටින රටක බුදු පදවි ලබන්නට සුදුසු අම්මලා ද වෙති.
’අම්මේ’ ඔබගේ ආදරයෙනි, ඔබෙන් ලද කිරි බිඳෙනි ලෝකය මෙතරම්ම හැඩ වූයේ සොඳුරු වූයේ.
එක මලක් නොව මල් යායක් ඔබ වෙනුවෙන් පුද දුන්නද ඔබ ලොවේ දරුවන් වෙනුවෙන් කළ මෙහෙය අගය කළ නොහැක්කේය.