Thursday, April 30, 2015
ඩෙංගු පිළිබඳ ඔබ දැනුවත්ද?????
- ඩෙංගු රෝගය යනු කුමක්ද?
- සාමාන්‍ය සුළු උණ තත්ත්වය
- ඩෙංගු උණ (Dengue Fever - DF)
- ඩෙංගු රක්තපාත උණ (Dengue Hemorrhagic Fever - DHF)
- අසාමාන්‍ය ඩෙංගු උණ තත්ත්වය (ඉතා කලාතුරකින්)
2. ඩෙංගු බෝ වන්නේ කෙසේද?
ඩෙංගු රෝගය ඇති කරන වෛරසය ඊඩිස් වර්ගයේ ගැහැණු මදුරුවන් මගින් පතුරවයි. මෙම මදුරුවන් තුලට වෛරසය ඇතුළු වන්නේ ඩෙංගු වෛරසය ශරීරගත වූ පුද්ගලයෙකුට දෂ්ඨ කිරීමෙනි.
3. ඩෙංගු රෝගය ඇති වීමේ අවදානම ඇත්තේ කාහටද?
ආසාදිත ඩෙංගු මදුරුවෙකු විසින් දෂ්ඨ කරන ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය සෑදීමේ අවදානමක් පවතී. තවද පුද්ගලයෙකුගේ වයස හා ප්‍රතිශක්තිය මත රෝගයේ ස්වභාවය වෙනස් විය හැකිය.
4. උණ රෝගය සෑදුන විට එය ඩෙංගු විය හැකි බවට සැක කළ යුත්තේ ඇයි?
ඩෙංගු රෝගය සාමාන්‍ය සුළු උණ මෙන්ම ඩෙංගු රක්තපාත උණ ( DHF ) වැනි අවදානම් අවස්ථා වලටද පත්විය හැකිය.මෙම අවදානම් අවස්ථා මුල් අවධියේදී සාමාන්‍ය උණෙන් වෙන්කර හඳුනා ගැනීම අපහසු වේ. සාමාන්‍ය උණ තත්ත්වය ඉක්මනින් සුව වන අතර අවදානම් අවස්ථා වලදී රෝහල් ගතව ප්‍රතිකාර ලැබිය යුතුය.
එබැවින් අවදානම් අවස්ථා ඉක්මනින් හඳුනා ගැනීමට ඩෙංගු උණෙහි රෝග ලක්ෂණ පිළිබඳව අවදානයෙන් සිටිය යුුතු වේ.
5. ඔබට වැලඳී ඇත්තේ ඩෙංගු උණද?
උණ සමඟ පහත රෝග ලක්ෂණ පවතී නම් ඔබට ඩෙංගු රෝගය තිබිය හැකි බවට සැක කළ යුතුය. - හිසරදය හා ඇස් යට වේදනාව
- මස් පිඬු හා සන්ධි වේදනාව
- ඔක්කාරය හා වමනය
- සමෙහි රතු පැහැ ලප හට ගැනීම
- රුධිර වහන තත්ත්වයන්
6. ඩෙංගු රෝගය නිශ්චය කරන්නේ කෙසේද?
ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී වඩාත් වැදගත් වන්නේ අවදානම් අවස්ථාවට පත්වන රෝගීන් ඉක්මනින් හඳුනා ගැනීමයි. (උදා -: ඩෙංගු රක්තපාත උණ, අසාමාන්‍ය ඩෙංගු උණ). ඒ සඳහා උණ සෑදී දින 2කට පසුව කරනු ලබන සම්පූර්ණ රුධිර පරික්ෂාව ( FBC - Full Blood Count ) වඩාත් ප්‍රයෝජනවත් වේ. ඩෙංගු වෛරසය ශරීරගත වී ඇති බව තහවුරු කිරීම සඳහා කරනු ලබන NS1 හා ඩෙංගු ප්‍රතිදේහ පරික්ෂාවන් මගින් ඩෙංගු රක්තපාත උණ ( DHF ) වෙන්කර හඳුනා ගත නොහැකිය.
7. ඩෙංගු රෝගය කිහිපවරක් සැදිය හැකිද?
ඩෙංගු වෛරසයට ප්‍රභේද 4ක් ඇත. යම් පුද්ගලයෙකු ඩෙංගු රෝගයට වරක් ගොදුරු වූ විට ප්‍රතිශක්තිය ඇති වන්නේ එක් ප්‍රභේදයකට පමණක් බැවින් ඔහුට නැවත අනෙකුත් ප්‍රභේද මගින් ආසාදනය විය හැකිය. තවද නැවත වරක් ඩෙංගු රෝගය සෑදීමේදී එම පුද්ගලයා එම රක්තපාත තත්ත්වයට පත්වීමේ ප්‍රවණතාවය (විශේෂයෙන් දෙවන අවස්ථාවේ) වැඩිය.
8. ඩෙංගු උණ වැළඳුන විට නිවසේදී ප්‍රතිකාර කළ හැකිද?
ඩෙංගු වෛරසය ශරීරගත වන බොහෝ රෝගීන් සාමාන්‍ය තත්ත්වයක් පෙන්නුම් කරයි. එබැවින් හොඳින් විවේක ගැනීම හා වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීම චැදගත් වේ. වෛද්‍යවරයා විසින් දින 2 කට පසු FBC පරික්ෂාව කොට රෝගියා රෝහල් ගත කල යුතුද යන්න තීරණය කරනු ඇත.
9. ඩෙංගු රක්තපාත උණ ( DHF ) යනු කුමක්ද?
ඩෙංගු රක්තපාත උණ, ඩෙංගු රෝගී තත්ත්වයේ ඇතිවිය හැකි අවදානම් අවස්ථාවකි. උණත් සමඟ ඇතිවන අනෙකුත් රෝගී ලක්ෂණ බොහෝ දුරට සාමාන්‍ය ඩෙංගු උණට සමාන වන බැවින් ඩෙංගු රක්තපාත රෝගීන් ඩෙංගු උණ රෝගීන්ගෙන් වෙන්කර හඳුනා ගැනීම මුල් අවදියේදී පහසු නොවේ. එහිදී උණ බැස යාමත් සමඟ ප්‍රධාන ලක්ෂණය වන රුධිර වාහිනී වලින් පිටතට ( විශේෂයෙන් ප්ලුරා පටල අතරට හා උදර කුහරයට ) ප්ලාස්මා තරලය කාන්දු වීම සිදුවේ. මෙය සාමාන්‍යයෙන් උණ සෑදී 3 වන දින හෝ ඊට පසුව සිදුවන අතර රුධිර පරික්ෂා ( FBC ) වල වෙනස්කම් මගින් හඳුනා ගත හැකිය. මෙසේ නොදැනුවත් කමින් දිගටම ප්ලාස්මාව කාන්දු වීම මගින් කම්පන අවස්ථාවට පත් විය හැකිය. ඇතැම් රෝගීන් කම්පන අවස්ථාවට පත් වීමට පෙර අවදානම් ලක්ෂණ පෙන්නුම් කරයි. එබැවින් මෙම අවදානම් ලක්ෂණ පිළිබඳ අවදානයෙන් සිටීම වැදගත් වේ.
10. අවදානම් ලක්ෂණ මොනවාද?
- උදරයේ ඇතිවන තද වේදනාව
- නොනවත්වා වමනය පැවතීම
- අධික නිදිමත බව / නොසන්සුන් බව / අප්‍රාණික බව
- රුධිර වහනය වීම ( විදුරුමසෙන්, නහයෙන්, දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මලපහ පිටවීම )
- පැය 6 කට වඩා වැඩි කාලයක් මුත්‍රා පහ නොවීම හෝ පිටවන මුත්‍රා ප්‍රමාණය අඩුවීම
- ගර්භනී මව්වරුන්
- අවු.1 ට අඩු ළදරුවන්
- වැඩිහිටි පුද්ගලයන්
- අධි බර සහිත රෝගීන්
- වෙහෙසකර කටයුතු වලින් බැහැරවී හොඳින් විවේක ගන්න.
- උණ පාලනය කිරීමට නියමිත මාත්‍රාවෙන් නියමිත කාල සීමාව තුල පැරසිටමෝල් ඖෂධය ලබා දෙන්න. (උපරිම මාත්‍රාව 60mg/kg/24h වේ). තදින් උණ පවතී නම් පිරිසිදු රෙදි කඩක් උණුසුම් ජලයෙන් පොඟවා රෝගියාගේ ශරීරය තැවීම සිදු කරන්න.
- වේදනා නාශක ඖෂධ / Non Steroidal Anti Inflammatory Drugs ( NSAIDs ) කාණ්ඩය ඖෂධ හා ස්ටීරොයිඩ් ( steroids ) භාවිතයෙන් වළකින්න.
- සැහැල්ලු පෝෂදායී ආහාර වේලක් ලබා ගන්න.
- උණ පවතින කාලය තුළ මදුරු දෂ්ඨ කිරීමෙන් හැකිතාක් ප්‍රවේසම් වන්න.
- උණ හා වමනය නිසා ඇතිවන විජලන තත්ත්වයෙන් මිදීමට අවශ්‍යය ප්‍රමාණයට දියර වර්ග පානය කරන්න; තැඹිලි වතුර, කැඳ, කිරි, ජීවනී වැනි මුඛ සජලන පානය (Oral Re hydration Solution- ORS), පළතුරු යුෂ වඩාත් සුදුසුය.
- ළමුන්ට ග්ලූකෝස් වැනි සීනි සහිත දියර කුඩා ප්‍රමාණ නිරතුරුව ලබා දෙන්න.
- රෝගියා කැමති ආකාරයෙන් වරකට කුඩා ප්‍රමාණ බැගින් අර්ධ ඝන, සැහැල්ලු ආහාර වේල් කිහිපයක් ලබා දෙන්න. තෙල් සහිත ආහාර ගැනීමෙන් වලකින්න.
- අභ්‍යන්තර රුධර වහන තත්ත්වයන් (රතු, දුඹුරු පැහැ වමනය හා කළු පැහැ මළ පහ) හඳුනා ගැනීම අපහසු වන බැවින් රතු/දුඹුරු පැහැ ආහාර හා දියර වර්ග ගැනීමෙන් වලකින්න
මෙෆනමික් ඇසිඩ් ( Mefenemic acid ), ඉබියුප්‍රොෙෆෙන් ( Ibuprofen ), ඩයික්ලොෆෙනැක් ( Diclofenac ) වැනි Non Steroidal Anti Inflammatory Drugs ( NSAIDs ) කාණ්ඩයේ ඖෂධ / ස්ටීරොයිඩ් (Steroids) භාවිතයෙන් ඩෙංගු නිසා ඇතිවන රුධිර වහනය වීමේ තත්ත්වයන් උග්‍ර විය හැකිය.
15. ඩෙංගු රෝගීන්ට ඇවිය හැකි සංකුලතා මොනවාද?
සාමාන්‍ය ඩෙංගු උණ රෝගීන්ට සංකුලතා ඇතිවීමේ අවදානම අවම වේ. ඩෙංගු රක්තපාත උණ හා අසාමාන්‍ය ඩෙංගු වැනි අවදානම් අවස්ථා වලට පත්වන රෝගීන්ගෙන් සුළු පිරිසකට වකුගඩු හා අක්මාව අකර්මන්‍යය වීම, මොළයට සිදුවන බලපෑම වැනි සංකුලතා ඇති වී කලාතුරකින් මරණය පවා සිදුවිය හැකිය. පමා නොවී නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් මෙවැනි තත්ත්වයන් අවම කර ගත හැක.
16. ඩෙංගු රෝගය ඇති විට මදුරුවන් දෂ්ඨ කිරීමෙන් ආරක්ෂා විය යුතු වන්නේ ඇයි?
ඩෙංගු මදුරුවා දෂ්ඨ කළ පසු වෛරසය රෝගියාගේ ශරීරය තුල වර්ධනය වන අතර එම කාලය තුල කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වයි. මෙම බීජෞෂන සමය දින 3-14 අතර කාලයක් පවතී.
ඉන් පසුව ඇති වන්නේ උණ අවධිය වන අතර එය දින 2-10 අතර කාලයක් පවතී. මෙම කාලය තුළ ඩෙංගු වෛරසය රෝගියාගේ රුධිරය තුල පවතින බැවින් මදුරුවෙකු දෂ්ඨ කලහොත් වෛරසය මදුරුවා තුලට ඇතුළුවන අතර එමඟින් වෙනත් පුද්ගලයන් තුලට වෛරසය ඇතුළු වී රෝගය පැතිරිය හැකිය.
17. ඩෙංගු මදුරුවන් දෂ්ඨ කරන්නේ කුමන වේලාවන්හිද?
සාමාන්‍යයෙන් ඊඩිස් මදුරුවන් දවසේ උදය කාලයේ හිරු පායා පැය කීපයක් යන තුරුද සවස් කාලයේ හිරු බැසීමට පැය කිහිපයකට පෙරද වැඩිපුර දෂ්ඨ කිරීම සිදු කරයි.එබැවින් මෙම කාලය තුල මදුරු දෂ්ඨන වලින් ආරක්ෂා විය යුතුය.
18. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන මොනවාද?
ඉවතලන ප්ලාස්ටික්, මැටි හා ලෝහ බඳුන්, විසිතුරු මල් බඳුන්, බැරල්, කුරුළු නාන තටාක, වතුර ටැංකි, ශීතකරන තැටි, ඉවතලන ටයර්, වියලි පොල් කෝම්බ හා වැහි පිහිලි වැනි මිනිසුන් විසින් ඇති කරනු ලබන ජලය රැඳෙන ස්ථාන වල මෙම මදුරුවන් බිත්තර දමයි. තවද බ්‍රොමිලියා, අන්නාසි පත්‍ර අතරද, ගස් බෙන වැනි ස්වාභාවික ජලය රැඳෙන ස්ථාන වලද ඩෙංගු මදුරුවන් බෝවේ. වැඩිහිටි මදුරුවන් නිවසින් පිටත මෙන්ම නිවෙස් ඇතුළත අඳුරු ස්ථාන වල රැඳී සිටිය හැකිය.
19. මදුරුවන්ගේ දෂ්ඨ වීමෙන් වැළකෙන්නේ කෙසේද?- අත් පා හොඳින් ආවරණය වන පරිදි ඇඳුම් අඳින්න
- මදුරු දැලක් යට විවේකීව සිටින්න
- මදුරු විකර්ශක භාවිත කරන්න
20.ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වන්නේ කෙසේද?
- භාවිතා කළ හැකි ඉවතලන ප්ලාස්ටික්, වීදුරු බඳුන්, බෝතල්, ටින් ආදිය ප්‍රතිචක්‍රීකරණය කරන්න. අනෙකුත් බඳුන් මදුරුවන් බෝ නොවන ලෙස විනාශ කරන්න.
- වැහි පිහිලිවල හිරවී ඇති කොළ රොඩු ඉවත් කර නිතර පිරිසිදු කරන්න. වතුර ටැංකි, බැරල්, මල් බඳුන්, ශීතකරන තැටි බුරුසුවකින් අතුල්ලා පිරිසිදු කරන්න.
- වතුර එක්රැස් වන ස්ථාන- ලිං, ටැංකි, මදුරුවන්ට ඇතුළු විය නොහැකි ලෙස දැල් යොදා ආවරණය කරන්න.
- නිරන්තරයෙන් - සතියට වරක් ගෙවත්ත හා ගෙතුළ හොඳින් පරික්ෂා කර මදුරුවන් බෝ විය හැකි ස්ථාන බවත් කරන්න.

Thursday, April 9, 2015
රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා
ශ්‍රී ලංකාවෙහි ඉතිහාසයෙහි බෞද්ධයින්ගේ පළමුවෙනි වීරයා දුටුගැමුණු රජතුමාය.
(ක්‍රි.පු 161-137). ඔහු බලෙන් රජ රටත් සිංහාසනයත් අල්ලා ගෙන අවුරුදු
දහනවයක් තරම් කාලයක් රජ කළ එළාර සමග සටන් කොට එළාර ප්‍රධාන සතුරු දෙමළුන්
පරාජය කොට යලි රජරට හා සිංහාසනය නිදහස් කරගෙන රට ආර්ථික වශයෙන් දියුණු
කරමින් බුද්ධශාසනයේ විශාල සේවයක් කළේය. ශ්‍රී ලංකාවේ පාලකයන්ට දේශපාලනමය
වශයෙන් දුටු ගැමුණු පරමාදර්ශය විය. ඒ නිසා ගතවු අවුරුදු දෙදහස් එකිසිය පනහක
පමන කාලය තුල දුටුගැමුණු ප්‍රතිබිම්බය ද ඉස්මතු වි තිබේ.
රාජ්‍ය බලය අල්ලා ගන්නා බොහෝ දෙනාගේ අරමුණ තමන් හා තම පවුල සැපයෙන් හා
බලයෙන් තෘප්තිමත් කිරීමයි. දුටුගැමුණු රජුට ඒ අරමුණ තිබුණේ නැත. ඔහු කියා
සිටියේ තමන්ගේ ව්‍යායාමය (උත්සාහය) රජ සැප පිණිස නොව හුදෙක් බුද්ධ ශාසනයෙහි
චිරස්ථිතිය සදහා යන්නයි. එය වෙනත් ලෙසකින් කියනවා නම් දුටුගැමුණු එකල
මෙරට බෞද්ධ සමාජයේ ආරක්ෂාව හා වර්ධනයත් දිගු කලක් පැවැත්මක් සදහා ජීවිතය
කැප කොට ක්‍රීයා කර අරමුන සාක්ෂාත් කරගත් වීරයාය. ඔහු කළේ සමාජ
අයිතිවාසිකම් දිනා ගැනිමයි. එළාර අන්සතු සිහසුනක් මංකොල්ල කෑ කෙනෙකි. ලෝකයේ
ඕනෑම රටක සමාජයක් සතු දේශපාලන බලය ආක්‍රමණිකයෙකු විසින් අල්ලාගත් විට එම
ආක්‍රමණිකයා පලවා හැර හෝ විනාශ කොට එය ඒ සමාජයට යළි අත්පත් කර දිම ඒ සමාජය
වෙනුවෙන් පෙනි සිටින නායකයන්ගේ වගකිමයි. එයයි දුටුගැමුණුගේ භුමිකාව වූයේ.
දුටුගැමුණු පොරොන්දු ඉටුකළ දේශපාලනඥයෙකි. බුදු සසුන චිරස්ථායී කිරීමට ඔහු
ගත් පියවර කීපයකි. පලමු වැන්න රාජ්‍යය සතුරන්ගෙන් නිදහස් කර ගැනීමයි. මුළු
දිවයිනම යළිත් එකම පාලකයකු යටතට පත් කළේය. එමඟින් ඔහු ස්වාධිනත්වය, භෞමික
අඛණ්ඩතාව යථාතත්වයට පත් කළේය. දෙවනුව රටේ ආර්ථික සංවර්ධනය, සදාචාර වර්ධනයත්
බුදු සසුනේ දියුණුවත් සඳහා ජීවිතාන්තය දක්වා ක්‍රීයා කෙළේය. නව මහළකින්
යුත් ලෝවාමහාපාය සුවිසල් ප්‍රාසාදයකි. එවැනි ගොඩනැගිල්ලක් ඊට පෙර හෝ පසු
වෙනත් කිසිවෙකු විසින් තනා ඇති බවට වාර්තා වී නැත. ඔහුගේ මිරිසවැටි ස්තුපය
රියන් 80 ක් (අඩි 160) උස විය. රුවැන්වැලි සෑය රියන් 120 ක් (අඩි 240 ) උස
විය. රුවැන්වැලි සෑය තරම් විශාල ස්තුපයක් ඊට පෙර මේ දිවයිනේ නිර්මාණය කර
නැත. යුද්ධයකට පසු දුටුගැමුණු රජු සුවිශාල ගොඩනැගිලි කරවිම නිසා එකල සිටි
ජනතාව පිඩනයට ලක් වන්නට ඇතැයි කෙනෙකුට සිතෙන්නට ඉඩ තිබේ. රුවැන්වැලි සෑය
තැනිමේ දි කිසිවෙකුගෙන්වත් නොමිලේ සේවය ලබා නොගත යුතු බවට රජු නියමයක් කලේ
යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි ජනතාවට එයින් කරදරයක් වීම වැළැක්වීමටය. රජු එසේ
කළේ ඔහුට මානව දයාවක් තිබුණ නිසයි. මේ ප්‍රතිපත්තිය අතින් ගොඩනැගිලි
තැනීමේ දී ද රජු ක්‍රීයාත්මක කරන්නට ඇතැයි සිතිය හැකිය. දුටුගැමුණු රජතුමා
තරම් ජන හද දිනු වෙනත් පාලකයෙක් නොවිය. ඔහු එඩිතර විය. දුරදක්නා නුවණින්
යුක්ත විය. බුදු දහම ගැන දැනුම හා එය කෙරෙහි දැඩි ආදරයක් ඔහුට විය. පිංකම්
කිරීම ඔහුගේ වැඩසටහනේ ප්‍රමුඛ තැන විය. යුද්ධයේ දී මැරුණ සෙබළුන් ගැන ඔහු
පසුතැවිලි විය. යුද්ධය පාපකාරී ක්‍රීයාවක් බව ඔහු දැන සිටියේය. එහෙත් රටේ
ස්වාධිනත්වය, සමාජයේ ආරක්ෂාව සැළසීම ඔහු සතු වගකීම විය. එය පුද්ගලික ලාභය
සඳහා නොව සමාජය සඳහා වුවක් බැවින් යුද කොට සතුරන් විනාශ කරන්නට සිදු විය.
එම පාපය වැසී යන තරමට ඔහු පුණ්‍යකර්මවල නිරත විය. බෝධිසත්වරුන් පවා
ආක්‍රමණිකයන්ගෙන් රට ආරක්ෂා කරගැනිමට යුද මෙහෙයවා තිබේ. උම්මග්ග ජාතකයේ
මහොෂධ පඬිතුමාගේ භුමිකාව එවැන්නකි. ඒ අනුව පවා හිත හදා ගැනිමට දුටුගැමුණු
රජු උත්සාහ නොකළේ බුදුන් වහන්සේ යුද්ධය පාපකාරී ක්‍රීයාවක් ලෙස දක්වා තිබෙන
නිසාය. ථුපවංසයට අනුව පුවඟු දිවයිනෙන් (පුන්කුඩුතිව්) පැමිණි රහතන් වහන්සේ
නමක් රජුගේ හිත සැදිමට සාර්ථක උත්සාහයක් දැරීය. උන්වහන්සේ කියා සිටියේ
දුටුගැමුණු රජු ඒකාසංඛ්‍යකල්ප ලක්ෂයක් පාරමි පිරුවකු නිසාත් මතු බුදුවන
මෛත්‍රීය බුදුන් වහන්සේගේ දකුණත් සව් වන නිසාත් පාපයට විපාක දිමට ඉඩ
නොලැබෙන බවයි. මෙරට ජනතාවට අවශ්‍යව තිබුණේ දුටුගැමුණු රජු අපායට යැවීමට
නොව දෙව් ලොව යැවීමටය. මහාවංශසයේ ඇතැම් රජුන් ඔවුන් කළ වැරදි වැඩ නිසා
මරණින් පසු අපායට ගිය බව සඳහන් වෙයි. දුටුගැමුණු රජු අභාවප්‍රාප්ත වන
මොහොතේ එතුමා කළ පිංකම් වාර්තාව (පිං පොත) කියවන ලදී. එයට අවධානය යොමුකර
සිටිය දී මරණය සිදු විය. එනිසා එතුමාට දෙව් ලොව යාමට එයින් ඉඩ සැළසෙන්නට
ඇතැයි සිතිය හැකිය. එම උපකල්පනය ඇතිව ථුපවංශ කතුවරයා දුටුගැමුණු රජු මරණින්
පසු තුසිත දෙව් ලොව උපන් බව සඳහන් කරයි. එතුමාට දිව්‍ය ලෝක හයෙන්ම ආරාධනා
ලැබුණ බවද ඔහු වැඩිදුරටත් කියයි. දුටුගැමුණු රජු මෛත්‍රීය බුදුන්වහන්සේගේ
දකුණත් සව් වන අතර සද්ධාතිස්ස වමත් සව් වන්නේය. දුටුගැමුණු රජුගේ මව වන
විහාරමහාදේවියත් පියා වන කාවන්තිස්ස රජතුමාත් මෛත්‍රීය බුදුන් වහන්සේගේ මව
හා පියා වන්නාහ. දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු බුද්ධත්වය ලබන්නට පෙර
මෛත්‍රීය කුමාරයාගේ පුත්‍රයා වන්නේය. මෙබඳු අනාගත ප්‍රකාශයකින් අපේක්ෂා කරන
ලද්දේ දුටුගැමුණු රජු නිසා එම රජ පවුලම මෛත්‍රීය බුදුන් වහන්සේට සම්බන්ධ
කිරීමෙන් යළිත් වරක් මෙරට බෞද්ධ ජනතාවට වාසියක් අත්පත්කර දිමට දුටුගැමුණු
රජ පවුලට, අවස්ථාව සැළසීමයි. මෙරට බෞද්ධයින්ගේ පැතුම වී තිබෙන්නේ මෙතේ
බුදුන් දැක නිවන් දැකිමයි. එම අවස්ථාවේ දී දුටුගැමුණු රජ පවුල ඒ මෙතේ
බුදුන් වහන්සේට සම්බන්ධ වී සිටිමෙන් ශ්‍රී ලාංකික බෞද්ධයින්ට සිය
අභිමතාර්ථය සපුරා ගැනීමට පහසු වේ යයි සිතු බව පෙනී යයි. තමන්ට දේශපාලන
විමුක්තිය ලබා දුන් දුටුගැමුණු රජුගේ සම්බන්ධය සංසාර විමුක්තිය ලබන
අවස්ථාවේදීත් ලබා ගැනීමේ අපේක්ෂාවක් මෙහි ඇති බව පෙනේ. මේ තත්වය යටතේ
දුටුගැමුණු රජු ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ගේ අසාමාන්‍ය වීරයා බවට පත්වී සිටි.උපුටා ගැනීම
http://www.paramparikadenuma.lk/index.php?option=com_content&view=article&id=113&Itemid=121&lang=si
Saturday, April 4, 2015
රටම ස්‌වයංපෝෂිත කළ අනුරාධපුර වාරි කර්මාන්තය
ලොව
පැවතුන විවිධ ශිෂ්ටාචාර පිළිබඳ අවධානය යොමු කිරීමේදී අපට පෙනී
යන කරුණක් වන්නේ ජලය පදනම් කරගෙන ඒවා සැකසුණු ආකාරයකි. අප
මෙහිදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ලංකාව තුළ අතීතයේ
පැවතුන වාරි කර්මාන්ත පිළිබඳවයි. ශ්‍රී ලංකාවේ පැවතුන නොයෙක්
යුගයන් ගත් කල්හි ස්‌වර්ණමය යුගයක් වශයෙන් අනුරාධපුර යුගය
හැඳින්වීමට පුළුවන. පැරැණිම රාජධානියක් වශයෙන් හැඳින්වෙන
අනුරාධපුර යුගය තුළ විශේෂිත වාරි කර්මාන්තයක් පැවතුන බවට අපට
විවිධ හේතු සාධක මත කරුණු හෙළිදරව් කිරීමට පුළුවන. ඒ අනුව සලකා
බැලීමේදී පැරැණි ජනාවාස ආරම්භ වී ඇත්තේ ගංගා මිටියාවත් පදනම්
කරගෙන බව හෙළිදරව් වේ.ජනතාවගේ ජීවනෝපාය සඳහා ගංගා මිටියාවත් බෙහෙවින්ම රුකුලක් වී ඇති අතර විශේෂයෙන් කෘෂි කර්මාන්තය හා භෝග වගාව උදෙසා ගංගා මිටියාවත් මහෝපකාරී වී තිබීම එයට හේතුව වශයෙන් සැලකීමට පුළුවනි. ක්‍රි.පූ. 6 වැනි ශත වර්ෂය ගත් කල්හි මේ සඳහා කරුණු සාධක හෙළිදරව් කර ගැනීමට පුළුවන. ඒ අතර පැරැණි ආර්ය ජනපද වශයෙන් අනුරාධගාම, උපතිස්‌සගාම, විජිතගාම, උරුවෙල ජනපදය, කතරගම, සඳුන්ගම, මාගම ආදී ජනපද මල්වතු ඔය, කලා ඔය, දැදුරු ඔය, මහවැලි ගඟ, ගල් ඔය, කුඹුක්‌කන් ඔය, මැණික් ගඟ, වළවේ, කළු ආදී ගංගා මිටියාවත් ආශ්‍රිතව පැවතුණි.
ධම්මපදට්‌ඨ කතාව, ජාතක අට්‌ඨ කතාව පරිශීලනය කිරීමෙන් පැහැදිලි වන්නේ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි ආර්යන් ජල මාර්ග ඔස්‌සේ වැව් පොකුණු බඳිමින් තම කෘෂිකර්මාන්ත දියුණු කිරීම පිළිබඳව මනා අවබෝධයක් ලබා සිටි බවයි. ජනගහනය වැඩිවීමත් සමග ගංගා මිටියාවත් ඔස්‌සේ ජනපද ඉදිවූ ආකාරයත්, ඔවුන් සඳහා ආහාර නිෂ්පාදනය වැඩි කිරීමටත් සිදු වීමෙන් ක්‍රම ක්‍රමයෙන් රටේ අභ්‍යන්තරයටද පිවිසීමට ඔවුන්ට සිදුවිය. එම රට අභ්‍යන්තරයට පිවිසීමේදී ඔවුන්ට භෝග වගාව (විශේෂයෙන් කෘෂි කර්මාන්තය) සඳහා වියළි කලාපයේ තැනිතලා බිම් ප්‍රදේශ ඔවුන්ට ඉතා වැදගත් විය. ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව විශේෂිත තැනිතලා පිහිටා තිබීමද ඔවුනට කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට රුකුලක් වූවාට සැක නැත.
විශේෂයෙන් වියළි කලාප සඳහා වර්ෂා ජලය නිතර නොලැබුණ බැවින් ලැබුණ
වර්ෂා
ජලය ගබඩා කර තැබීම ප්‍රධාන අරමුණ බවට සාධක ලැබේ. එයට හේතුව
කෘෂිකර්මාන්තය සඳහා ජලය අත්‍යවශ්‍යම සාධකය වීමය. එබැවින් ලැබෙන
වර්ෂා ජලය ආරක්‌ෂා කර ගැනීම ප්‍රධාන කාර්ය විය. එම කරුණු වාරි
කාර්මාන්ත ඉදිවීමට හා වර්ධනය වීමට ප්‍රධාන සාධකය වන්නට ඇතැයි
සිතීමට පුළුවන් වන්නේ මූලික වශයෙන් කුඩා ප්‍රමාණයේ වාරි
කර්මාන්ත ඉදිවූ ආකාරය දෙස අවධානය යොමු කිරීම තුළිනි.ලංකාවේ වාරි කර්මාන්තය පිළිබඳ වැඩි කරුණු හෙළිදරව් වන්නේ ක්‍රි. පූ. 6 වන ශතවර්ෂයේ සිටයි. එම යුගය තුළ ලංකාවට විජය රජු හා පැමිණි අනුරාධ නම් අමාත්‍යා ආරම්භ කළ කුඩා ගං වැවක් පිළිබඳ වංශ කතා තොරතුරුවලට අනුව අනාවරණය වේ. පැරැණි ශිලා ලේඛන තොරතුරුවලට අනුව පුද්ගලික වැව් හිමියන් සිටි බවද සඳහන් වේ. ඒ බව වව්ගමික, වපිගමික ආදී වචන තුළින් පැහැදිලි වේ. මුල් යුගය තුළ සරල වාරි කර්මාන්ත පැවතුණි. ඇළ පහරක් හෝ දිය පහරක් නවතා තාවකාලික අමුණක් බැඳ ඇති අතර ඒ සඳහා පස්, ගල්, මැටි ආදිය භාවිතා කර ඇත. ඒවා බොහෝ දුරට සඳහන් වී ඇත්තේ පෞද්ගලික සංවිධානයක් මතයි.
ලංකාව තුළ රාජ්‍ය මැදිහත් වී ප්‍රථමවරට වැවක් ඉදිවූ බවට සාධක ලැබෙන්නේ පණ්‌ඩුකාභය රාජ්‍ය පාලන කාල පරිච්ඡේදය තුළයි. වංස කතා තොරතුරුවලට අනුව පැහැදිලි වන්නේ අනුරාධ අමාත්‍යා ආරම්භ කළ අනුරාධගාමය, රෝහල්, රජ වාසල්, සුසාන ආදියෙන් යුක්‌ත පුරයක් ඉදිකළ බවත් අනුරාධපුර නගරයට ආසන්නව අභය වැව නොහොත් බසවක්‌කුලම වැවද ඉදිකළ බව සඳහන් වේ. එම වංස කතාවලට අනුව ලක්‌දිව ප්‍රථම හා ඓතිහාසිකම වාරි කර්මාන්තය එය බව සැලකීමට පුළුවන. තවද අනුරාධ අමාත්‍යා විසින් ගාමිණි වාපි වැවද, ජයවාපි වැවද ඉදිකළ බව සඳහන් වේ. තවද දෙවනපෑතිස් රජුගේ සොයුරු මහානාග වැවක් කිරීම පිළිබඳ සොයා බැලූ බවත් එම වැව තිසා වැව බවත් සඳහන් වේ. තවද දෙවන පෑතිස් සොයුරු මහානාග විසින් තිස්‌ස හා වලස් යනුවෙන් තවත් වැව් 2 ක් ඉදිකළ බවටද කරුණු අනාවරණය වේ. එමෙන්ම මහියංගණයට ආසන්නයේම සොරබොර වැව, දුටුගැමුණු රජු විසින් ඉදිකළ බවද දුටුගැමුණු රජුගේ සොයුරු සද්ධාතිස්‌ස රජු විසින් වැව් 13 ක් ඉදිකළ බවද වැඩිදුරටත් කරුණු අනාවරණය වේ.
රටක පාලකයකු සතු ප්‍රධාන වගකීමක් වශයෙන් සිතා පැරැණි රජවරු රටවැසියාට මුහුණදීමට සිදුවන දුර්භික්‌ෂ හා ජනගහනය වැඩිවීමේදී ආහාර හිඟවීමක් නොවීම උදෙසාත් වාරි කර්මාන්තය දියුණු කළහ. ඒ අනුව ක්‍රි. පූ. යුගයේ ආරම්භ වූ කුඩා ප්‍රමාණයේ වාරි කර්මාන්ත ක්‍රි. පූ. 1 ශත වර්ෂය වන විට ඉහළ මට්‌ටමකට ගෙන ඒමට රජවරු ක්‍රියා කළහ. ඒ අනුව
ආමන්ද ගාමිණී අභය රජු (ක්‍රි. ව. 21-31) දක්ණ දේශයේ ඉදිකළ මහා ගාමිණී වැවද,
ඉලනාග රජු (ක්‍රි. ව. 35-44) කරවන ලද තිස්‌ස වැව හා ධුරතිස්‌ස වැවද
සඳ මුහුණු රජු කරවන ලද (ක්‍රි. ව. 44-52) මනිකාල ගාව වැවද ආදී වැව් පිළිබඳ කරුණු සඳහන් වේ.
මෙම වාරි කර්මාන්ත ක්‍රි. ව. 1 වෙනි සියවසේ මුල් භාගයට අයත් වනු ඇත.
ඊටපසු වාරි කර්මාන්තය පිළිබඳ කරුණු අනාවරණය වන්නේ ක්‍රි. ව. 67-111 රාජ්‍ය කාලයට අයත් වසභ රාජ්‍ය යුගය තුළයි. මෙම කාල පරිච්ඡේදය අපට වැදගත් වන්නේ රාජ්‍ය මැදිහත්වීම තුළින් මධ්‍යම ප්‍රමාණයේ හා මහා පරිමාණයේ වැව් තැනවීමටද සිදුවීම හේතුවෙනි. මෙම කාලය තුළ වැව් 11 ක් හා ඇළවල් 12 ක් ඉදිකළ බව සඳහන් වේ. ඒ අතර නොච්චියාපතාන, හිරි වඩුන්න වැව, කාලීය මදන වැව, මාව කැටිය වැව, මහ විලච්චි සහ කලා බළලු වැව, වසභ රජුගේ වාරි නිර්මාණ ලෙස හඳුනාගෙන තිබේ. ඉහත සඳහන් කළ වැව් 11 න් වැව් 6 ක් පමණක් හඳුනාගෙන ඇත. එසේම වසභ රජුගේ වාරි කර්මාන්ත අතර මහවැලි ගංගාවේ ප්‍රධාන අතු ගංගාවක් වූ අඹන් ගඟ හරස්‌කොට සැතපුම් 20 ක් දිගින් දිවෙන පරිදි ඇලිසාර නොහොත් ඇළහැර වසභ රජු කළ වැදගත්ම වාරි නිර්මාණයකි. තවද පොකුණු හා ඒවා සඳහා පොළොව යටින් ජලය රැගෙන යන උමං නිර්මාණයද වසභ රජු ආරම්භ කළ විශිෂ්ට නිර්මාණ බව මහාවංසයේ ජල මාතිකා යනුවෙන් හැඳින්වෙන පද තුළින් පැහැදිලි වේ.
වසභ රජතුමාගේ පාලක තනතුරු දැරූ 1 ජෙට්‌ඨතිස්‌ස රජු විසින් මාටබු වැව, දෙමටලා වැව, පිසන්නා වැව, වඩුගොමු වැව, ඔමුනු ගොමු වැව, හෙළුගොමු වැව ආදී වාරි කර්මාන්ත ඉදිකර ඇති බවට මහාවංශයේ තොරතුරු හෙළිදරව් වේ.
අනුරාධපුර යුගයේ වාරි කර්මාන්ත අතින් ස්‌වර්ණමය යුගයක් ලෙස මහසෙන් රාජ්‍ය යුගය හැඳින්විය හැකිය. එනම් ක්‍රි.ව. 3 වන ශත වර්ෂයේ එම පෙරළිය සිදුවිය. මෙම යුගය වැදගත් වන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් මහා පරිමාණයේ වැව් ඉදිවීම හේතුවෙනි. මෙකල වැව් 16 ක් හා විශාල ඇළවල් ඉදිකළ බවට වංශකතා තොරතුරුවලින් සාධක අනාවරණය වේ. ඒ අතර අක්‌කර 4670 කින් යුත් භූමි භාගයකින් හා සැතපුම් 1 1/4 දිග වැව් බැම්මකින් යුක්‌ත මින්නේරිය වැව ඉතා වැදගත් වේ. අක්‌කර දහස් ගණනින් කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට රට වැසියාට මින්නේරිය වැවෙන් ජලය ලැබුණ නිසා මහසෙන් රජු මින්නේරි දෙවියන් ලෙසද හැඳින්වීමට ජනතාව පසුබට නොවීය. පසුකාලීන රජවරුන්ටද එම රජුගේ ක්‍රියා කලාපය වාරි කර්මාන්ත තැනවීමට පිටුවහලක් වී ඇත. එසේම මහසෙන් රජු ඉදිකළ කවුඩුළු වැවද ඉතා වැදගත් වාරි කර්මාන්තයකි. එම වැවට ජලය සපයා ඇත්තේ පබ්බතන්න ඇළ හරහා බව කරුණු අනාවරණය වේ. තවද හුරුළු වැව, මහකනදරා වැව, මහගල් කඩවල වැව, මාමිනියා වැව ආදී වාරි කර්මාන්තයන්ද වසභ රජු ඉදිකළ ඇළහැර ඇළ මින්නේරිය දක්‌වා සංවර්ධනය කිරීමද මහසෙන් රජු විසින් සිදුකර ඇත.
ක්‍රි. ව. 1 - 3 ශත වර්ෂ අතර නිර්මාණය වූ වාරි කර්මාන්ත සංඛ්‍යාව 35 ක් පමණ බව වංශකතාවල සඳහන් වුවද ශිලා ලේඛනවලින් එම වකවානුව තුළ වාරි කර්මාන්ත 15 ක් පමණ තොරතුරු හෙළිදරව් වේ. වංශ කතාවකින් හෝ ශිලා ලේඛනවලින් කරුණු අනාවරණය වී ඇත්තේ විශේෂිත ඒවා බව ඉන් විද්‍යමාන වේ. ක්‍රි. ව. 3 වන ශතවර්ෂය වන විට ලක්‌දිව විශාල වැව් ඉදිවී ඇති අතර ගල් පුවරු භාවිතා කොට බිසෝ කොටුවක් නිර්මාණය කිරීමටද දියුණුවක් ලබා ඇත. එතුළින් සිදු වනුයේ විශාල ජල ධාරිතාවක් සහිත වැවකින් කුඩා දොරකින් ජලය පිටමං කර ගන්නා විට ඇතිවන ජල පීඩනය පාලනය කොට ඒ මගින් ජලය සැපයෙන ඇළ වේලි, ගොවි බිම් ආරක්‌ෂා කර ගැනීමයි.
මහසෙන් යුගයෙන් පසු වාරි කර්මාන්තය අතින් වැදගත් වන්නේ 1 වෙනි උපතිස්‌ස යුගයයි. එතුමා වැව් 6 ක් ඉදිකළ බව චූල වංශයේ සඳහන් වන අතර එයින් 4 ක් නැවත ප්‍රතිසංස්‌කරණය කර තිබේ. ඒ අතර විශාලතම වාරි කර්මාන්තය තෝපා වැවයි. ඊට අමතරව දුබුටුළු වැවද ඔහුගේ නිර්මාණයකි.
1 උපතිස්‌ස ගෙන් පසු උදාවන්නේ ධාතුසේන රාජ්‍ය සමයයි. එම යුගයද අනුරාධපුර වාරි කර්මාන්තයේ දියුණුම යුගයක් ලෙස හැඳින්වීමට පුළුවන. ඔහුගේ 18 වසරක කාලය තුළ මහ වැව් 18 ක් හා මහා විහාර 18 ක් කළ බව සඳහන් වේ. ඒ අතර විශේෂිතම වාරි කර්මාන්තය ලෙස සැලකෙන්නේ අක්‌කර 6380 ක භූමි භාගයක් තුළ පැතිරුණ සැතපුම් 3 3/4 දිග වැව් බැම්මකින් යුතු අක්‌කර 7000 ක භූමි ප්‍රමාණයක් කෘෂි කර්මාන්තය අස්‌වැද්දිය හැකි කලාවැවයි. 6 වන ශත වර්ෂය වන විට අනුරාධපුර යුගයේ ජනගහනය වැඩිවීමත් සමග ඔවුන්ට අවශ්‍ය ජල පරිහරණය උදෙසා දේවානම්පියතිස්‌ස රජතුමා විසින් ඉදිකළ තිසා වැව ධාතුසේන රජු විසින් පුළුල් කිරීමත්, කලාවැවේ සිට තිසා වැවට ජලය ගෙනයැම සඳහා සැතපුම් 54 ක දිගින් යුත් ජයගඟ නොහොත් යෝධ ඇළ නිර්මාණය කිරීමද අනුරාධපුර යුගය තුළ ඉදිවූ විශිෂ්ටතම නිර්මාණයකි. එම යෝධ ඇළේ විශේෂත්වය වන්නේ ජල තාක්‌ෂණය උපරිම අයුරින් භාවිතා කර තිබීමයි. එනම් සැතපුමකට අඟල් 6 ක බැස්‌මකින් යුතුව ජලය බැස යැමට සැලැස්‌වීමයි. එය දැකගත හැකිවන්නේ ජය ගඟෙහි පළමු සැතපුම් 16 තුළය. ජය ගඟෙන් තිසා වැවට පමණක් ජලය සැපයීම සීමා නොවී කලා වැවත් තිසා වැවත් අතර සියලු ජල මාර්ග ජලයෙන් පුරවන ලෙස සැලසුම් කිරීමයි. ඒ අනුව වර්ග සැතපුම් 180 භූමි ප්‍රදේශයකට එතුළින් ජලය සැපයීමට හැකිවිය. තවද ධාතුසේන රජු විසින් මන්නාරම් දිස්‌ත්‍රික්‌කයේ යෝධ වැවද ඉදිකළ බව සඳහන් වන්නේ පූජාවලියේ මානවත්තු වශයෙන් සඳහන් වන මන්නාරම් දිස්‌ත්‍රික්‌කය ගැන කියවීමෙනි. එහි වැව් බැම්ම සැතපුම් 7 ක් දිග වන අතර අඩි 14 ක් උස වන අතර වැව් බැම්ම අර්ධ කවාකාර බැමි 2 වශයෙන් නිර්මාණය කිරීමට වාරි කර්මාන්ත ශිල්පීන් සමත් වී ඇත. එම වැවට ජලය සපයා ඇත්තේ සැතපුම් 17 ක් දිග ඇළක් මගින් බවද සඳහන් වේ.
ධාතුසේන රජුගෙන් පසු පැමිණෙන්නේ ෂෂ මුගලන් කාලයයි. එම රජතුමා විසින් ඉදිකළ වැව් 3 ඇසුරින් පත්පහන් වැව නොහොත් නාච්චදූව වැව විශාල වාරි කර්මාන්තයකි. අක්‌කර 4408 භූමි භාගයක් යටවන පරිදි ඉදිකළ එම වැවෙහි වැව් බැම්ම සැතපුම් 1 ක් පමණ දිගින් යුක්‌ත විය. එම වැව් බැම්මේ සමහර තැන්වල උස අඩි 35 ක් පමණ වේ. අස්‌වැද්දිය හැකි භූමි ප්‍රමාණය අක්‌කර 4200 කි.
අනුරාධපුර යුගයේ වාරි කර්මාන්ත සම්බන්ධව ක්‍රියාකළ රජවරුන් අතර අවසන් පාලකයන් දෙපළ වන්නේ 1 අග්බෝ හා 11 අග්බෝ රජවරුයි. 1 අග්බෝ රජු විසින් වැව් 3 ක් ඉදිකළ බව සඳහන් වේ. ඒ අතර වව්නියා දිස්‌ත්‍රික්‌කයේ මාදුරු වැවද, කුරුන්ද වාපි වැව නොහොත් කුරුඳු වැව, මිහින්තලේ වැව හැරුණු විට මිණිපේ ඇළද ඔහුගේ නිර්මාණයකි. පළමු අග්බෝ රජුගෙන් පසු 11 වන අග්බෝ රජු කන්තලේ වැව, ගිරිතලේ වැව සහ වලාහස්‌ස යන වැව් 3 ත් හා හත්තොට අමුණත් ඔහුගේ නිර්මාණයන්ය. ලක්‌දිව ගැඹුරුම වාරි කර්මාන්තය ලෙස සැලකෙන කන්තලේ වැව් බැම්මේ සමහර ස්‌ථානවල උස අඩි 52 1/2 පමණ වේ.
ක්‍රි. ව. 3 හා 7 සියවස් අතර කාලය තුළ මහා පරිමාණ වැව් 35 ක් පිළිබඳ සඳහන් වේ. අනුරපුර අවසන් කාලය තුළ "දොළොස් මහ වැව්" යනුවෙන් අති විශාල වැව් 12 කටත් වැඩි ප්‍රමාණයක් නිර්මාණය වී ඇත. ඒ අතර මින්නේරිය, ගිරිතලේ, කවුඩුලු, කන්තලේ යන වැව් ප්‍රධානත්වයක් ගනී. මහවැලි ගංගාව ආශ්‍රිතව ඉදිවූ මෙම වැව්වල විශාලත්වය හා තාක්‌ෂණය ඉතා විශිෂ්ටය. පබ්බතන්න ඇළ, තලවතු ඇළ, මිණිපේ ඇළ, හත්තොට අමුණ ප්‍රධාන ඇළ මාර්ග කීපයක්‌ද ඉදිවී ඇත්තේද මහවැලි ගඟ හා එහි අතු ගංගා මූලික කොටගෙනය. 7 වන ශත වර්ෂය අවසන් වන විට විශාල වාරි කර්මාන්තයක් බිහිවී තිබූ බව ඉහත කරුණු තුළින් සිතා ගැනීමට පුළුවන. ක්‍රි. ව. 8, 9, 10 ශත වර්ෂවල අලුතින් වාරි කර්මාන්ත බිහිවූවාට වඩා තිබූ වාරි කර්මාන්ත ප්‍රතිසංස්‌කරණය කර ඇති බව පැහැදිලි වේ. චූල වංශ තොරතුරුවලට අනුව ෂෂ වන මහින්ද විසින් කලාවැවේ වැව් බැම්ම ශක්‌තිමත් කර බැන්දවීමත්, ෂෂ සේන විසින් මිණිපේ ඇළ දීර්ඝ කිරීමත් සිදුකර ඇත.
වාරි කර්මාන්තය පිළිබඳ සඳහන් කිරීමේදී වැදගත් කාරණයක් වන්නේ වැවක ප්‍රධාන අංග හතරයි. එනම් බිසෝ කොටුව, සොරොව්ව, සලපනාව සහ පිටවහන යන්නයි. බිසෝ කොටුව පිළිබඳ ඉහතින් සඳහන් කරන ලදී. සොරොව්ව මගින් වියළි කලාපයකට අවශ්‍ය ජලය අවශ්‍ය ප්‍රමාණයට පිටමං කර සුරක්‌ෂිතව පරිහරණය කිරීම සිදු වේ. සලපනාව මගින් රළ පහර නිසා වැව් බැම්මට ඇති විය හැකි හානි වළක්‌වනු ඇත. පිටවාන මගින් වර්ෂා කාලයේ ලැබෙන අතිරික්‌ත ජලය පිටවී වැව් බැම්ම ආරක්‌ෂා වීම සිදු වේ. වැව් බැම්මේ ඇතුළ හා පිටත බෑවුම් වන ආකාරයකින් සකස් කර තිබීමෙන් විශාල ජල ධාරිතාවකට ඔරොත්තු දෙන පරිදි සකසා තිබේ. වැව්වල අයිතිය රජය සතුය. සමහරක් වැව් පුද්ගලික අංශය සඳහා ද සමහරක් වැව් වෙහෙර විහාරස්‌ථාන උදෙසා සාංඝික දේපළටද අයත්වද තිබේ.
අතීතයේ පටන් ලක්‌දිව ප්‍රධාන ආර්ථිකය වූයේ කෘෂිකර්මාන්තය වූ බැවිනුත්, රටවැසියා උදෙසා ඉටුවිය යුතු යුතුකමක් වශයෙන් සිතාද සියලු රජවරු වාරි කර්මාන්ත දියත් කළ බවද ප්‍රකට වේ. වාරි කර්මාන්ත ඉදිකිරීම තුළින් මෙහි ප්‍රධාන ආර්ථීක මධ්‍යස්‌ථානයක් වූ අතර ජලයට අයබදු ගැනීමද එතුළින් සිදුවිය. ඒ බව ශිලා ලේඛනවල දකපති වශයෙන් සඳහන් කර ඇත. කුඩා වැව්වල ජල බද්ද මෙතර මජික වශයෙන් දක්‌වා ඇත. වැව්වල මසුන් අල්ලා ගැනීමෙන් කළ බද්ද මජිමුක යනුවෙන් ද සඳහන් වේ. පැරැණි රජවරු වැව් පොකුණු ඉදිකළා සේම ඒවා ආරක්‌ෂා කරගැනීමම උදෙසා නීති පද්ධතියක්‌ද දියත් කරන ලදී.
අද යුගය වන විට එම නීති රීති උල්ලංඝනය කර ඇති මුත් එදා ඒවා අකුරටම ක්‍රියාත්මක විය. ඒ අනුව වැව් බැම්ම මත සහ ගවයන් බැඳීමත්, ගවයන් දැක්‌කවීමත් නොකළ යුතු බවත්, වැව් බැම්ම මත ගස් කැපීම නොකළ යුතු බවත් සඳහන් විය. එම කරුණත් සමග බලන කළ පැරැණි වාරි කර්මාන්තය තුළින් රටෙහි ආර්ථිකය ඉහළම මට්‌ටමකට ගෙන ගිය බව සඳහන් කිරීමට පුළුවන. අද වුවද එම වාරි කර්මාන්ත නැවත නඟාසිටුවා රට ස්‌වයංපෝෂිත කිරීම උදෙසා රටෙහි වගකිව යුත්තන් ප්‍රමුඛ රටවැසියා උත්සාහවත් විය යුතුය. වාරි කර්මාන්තයෙන් ස්‌වර්ණමය යුගයක් වූ අනුරපුර යුගය තුළ ඇති වැව් පොකුණු ඇළවේලිවලින් මුළු ලක්‌දිවටම අවශ්‍ය සහල් සැපයීමට හැකියාවක් එදා තිබුණ නමුත් අද මුළු රටෙහිම කෘෂි කර්මාන්තය සිදුකළ ද පිටරටවලින් පවා සහල් ගෙන ඒමට තරම් තත්ත්වයක් උදාවී තිබේ. එයට හේතුව ඒවා ක්‍රමානුකූලව නඩත්තු නොකිරීම හා එයින් උපරිම ප්‍රයෝජන නොගැනීමය. ඒ අනුව සලකා බැලීමෙන් රටක හදවත බදු වාරි කර්මාන්ත පද්ධතිය ප්‍රතිසංස්‌කරණය කිරීම හා ඒවා දියුණු කිරීම ඉතා උචිත බව සඳහන් කිරීමට පුළුවන.
ගලගෙදර රතනවංස හිමි
http://www.divaina.com/2012/01/18/badada02.html
Wednesday, April 1, 2015
සතර බුදුවරු පා තැබූ අනුරාධපුරේ
මෙරට ඉංගී‍්‍රසි පාලන
අවධියේදී ථූපාරාමයට බටහිරින් පිහිටි නටබුන් ස්මාරකය මිහිඳු සොහොන ලෙසත්
නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපය සංඝමිත්තා සොහොන ලෙසත් පුරාවිද්‍යා
කොමසාරිස්ව සිටි එච්.සී.පී. බෙල් මෙන්ම ජේ.ජී. ස්මිතර් ද දක්වා ඇත. පසුගිය
වසරේ නැගෙනහිරින් පිහිටි නටබුන් ස්තූපයටත් නැගෙනහිරින් පිහිටි නටබුන්
ස්තූපය සංරක්‍ෂණය කළ අනුරාධපුර පුරාවිද්‍යා අංශය එයට සංඝමිත්තා සොහොන
යනුවෙන් නාම පුවරුවක් සවිකොට තිබුණි. එම ස්තූපය අනුලා මෙහෙණියගේ සොහොන ලෙස ද
ජන ව්‍යවහාරයේ පැවති අයුරු වලිසිංහ හරිස්චන්ද්‍ර ද සඳහන් කර ඇත.
ඉංගී‍්‍රසි අවධිය වනවිට මතුකරගෙන තිබූ ප‍්‍රථම ස්තූපය සංඝමිත්තා සොහොන
නොවන බව හා එය පදලස චේතියක් බව සනාථ කරමින් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා
යුනිවර්සිටි ඔෆ් සිලෝන් රිවිච් සඟරාවට අගනා ලිපියක් සපයා තිබුණි.
පදලස චේතිය යනු අති පුරාණයේ සතර බුදුවරයන් වරින් වර
ථූපාරාම භූමියට වැඩම කොට දම් දෙසා පෙරළා දඹදිව වැඞීම සඳහා සිරි පදලස තබා
බර කොට අහසට නැගි ස්ථානය යැයි මෙරට අනුරාධපුර සමයේ බෞද්ධයන්ගේ විශ්වාසයක්
පැවතුන බවද දීපවංසය, මහාවංසය, වංසත්ථප්පකාසිනිය ආදී ග‍්‍රන්ථයන්හි සඳහන්ය.
එම ස්ථාන පූජනීය තැන් ලෙස සලකා පසුකාලයක ථූපාරාමයෙන් නැගෙනහිරට පිළිවෙළින්
ස්තූප සතරක් ඉදිකොට තිබී ඇත. අනුරාධපුර අවසන් කාලයේ එනම් 4 වැනි උදය රජු
සමයේ (946-954) පරන්තක නම් වූ සොළී පාලකයා විසින් අනුරාධපුරය ආක‍්‍රමණය කරන
ලද්දේ පාණ්ඩ්‍ය පාලකයා විසින් 3 වැනි දප්පුල රජු වෙත ආරක්ෂාව සඳහා තබාගිය
පාණ්ඩ්‍ය රාජ කකුධ භාණ්ඩ ලබාගැනීම පිණිසය. එහෙත් රජතුමා රුහුණට පලා ගියෙන්
සිය අරමුණ සපුරාගත නොහැකි වූ සොලී ආක‍්‍රමණිකයන් විසින් ගිනි තබා විනාශ කරන
ලද ස්ථාන අතර පදලසෙහි වූ පූජනීය ගොඩනැගිලි ද විය. ඉන් පසු රාජ්‍යයට පත් 4
වැනි මිහිඳු රජු විසින් ඒවා පිළිසකර කරන ලද බව මහාවංසයේ සඳහන්ය.
ක්ධයාපිතඃ චොළ රාජස්ස් බලෙන පදලාංඡනෙ
චතුන්නං චෙතියානං සො රමනීයං ඝරං අකා
සතර බුදුවරයින් සඳහා ඉදිකළ ස්තූප සතර නගරයෙන් දකුණු දෙස වූ බව දීපවංසයේද සඳහන්ය. ථූපාරාම භූමිය පැරණි නගරයට දකුණින් පිහිටා ඇත.
විසාලෙ පාචිනාරාමො-ථුපාරාමො ’නුරාධකෙ
දක්ඛිණෙ චතුරොථූපා චතුබුද්ධාන සාසනෙ
සත්‍ය වශයෙන්ම ථූපාරාමයට නැගෙනහිරින් ඇති කුඩා ස්තූප
සම්බන්ධව පුරාණයේ පැවැති පූජනීය ගොඩනැගිලිවල නටබුන් වශයෙන් ගල්කණු,
පියගැටපෙළ, කොරවක්ගල්, මුරගල් හා සඳකඩපහණ අදත් දැකිය හැකිය. අනුරාධපුර
යුගයේ අවසානය වනවිට පමණක් නොව පොළොන්නරු යුගයේදීද මෙම පදලස චෛත්‍ය සතර
පැවති බව මහා බෝධිවංසය සඳහා පොළොන්නරු යුගයේදී රචිත මහාබෝධිවංශ
ග‍්‍රන්ථපදයේ ථූපාරාමයට නැගෙනහිරින් සතර බුදුවරයන් සඳහා ඉදිකළ පදලස චේතිය
සතරක් තිබූ බව සඳහන් වීමෙන් තහවුරු වේ.
අර්හත් මිහිඳු හිමියන් අනුරාධපුරයට වැඩම කොට එහි ඒ ඒ
ස්ථානවලට යමින් ඒ ඒ ස්ථානයේ ආගමික වැදගත්කම ගැන කරන ලද විස්තරය සඳහන් කරන
බෝධිවංශ ගැටපද කතුවරයා මිහිඳු හිමියන් විසින් පෙන්වන ලද එම ස්ථාන පොළොන්නරු
යුගයේදී කුමන නමකින් යුක්ත ස්ථාන දැයි හඳුන්වා දී ඇත. 10 වැනි සියවසේ රචිත
පාලි මහාබෝධිවංශයේ මහාවිහාර පරිග්ගහණ කථා යටතේ කකුසඳ, කෝණාගම, කාෂ්‍යප හා
ගෞතම යන බුදුවරුන් ථූපාරාමස්ථානයට වැඩම කොට නිමේශයක් සමාධිගතව සිට නැවතත්
අහසට නැගි ස්ථාන මිහිඳු හිමියන් විසින් පෙන්වා දෙනු ලබන්නේ අනාගතයේ
ථූපාරාමය ඉදිවූ ස්ථානයේ සිටය. ඒ අනුව කකුසඳ බුදුන් අහසට නැගි තැන ”හේ දැන්
සතර බුදුන් පදලස පැදුම් දෙසෙන් මහ සෑ තැන්....” යනුවෙන්ද කෝණාගම බුදුන්
වැඩ සිටි තැන ”හේ දැන් පදලස පැදුම් දෙසෙන් දෙවැනි මහ සෑ තැන්” යනුවෙන් ද
කාෂ්‍යප බුදුන් වැඩ සිටි තැන ”හේ දැන් පදලස පැදුම් දෙසෙන් තුන්වැනි මහ සෑ
තැන් යනුවෙන්ද අවසානයට ගෞතම බුදුන් අහසට නැගි තැන ”සිලාචේතියට්ඨානෙ සල
තැන්හිදු, හේ පදලස සතරවැනි කුඩා දාගැබයි” යනුවෙන් සඳහන්ය. කාෂ්‍යප බුදුන්
වහන්සේ එසේ අහසට නැංග තැන වූ සෝමනස්සමාකයෙහි පසු කල දෙවැනි පෑ තිස් රජුගේ
මලණු උත්තිය රජු විසින් සෑයක් කරන ලද බව වංසත්ථප්පකාසිනියේ සඳහන්ය. කෝණාගම
බුදුන් වහන්සේ එසේ අහසට නැංග ස්ථානය වූ සිරිස මාලකයේ පසු කල ථූලත්ථන රජු
සෑයක් කළ බවද ටීකාව සඳහන් කරයි. මහාවංශයේ හා එහි ටීකාවේද ගෞතම බුදුන්
වහන්සේගේ තෙවැනි ලංකා ගමනයේදී අනුරාධපුරයට වැඩම කොට ථූපාරාමය පිහිටන
ස්ථානයේ සමවත් සුවයෙන් වැඩ සිට සිලාචේතිය පිහිටන ස්ථානයේ වැඩවෙසෙමින්
දෙවියන්ට අනුශාසනා කළ බව මහාවංසයේ හා ටීකාවේ සඳහන්ය.
සද්ධර්ම රත්නාකරයේ බුදුන් වහන්සේ අනුරාධපුරයට වැඩම කළ පුවත
සඳහන්ය. කි‍්‍ර.ව. 1474 දී උපසම්පදාව ලබාගැනීම සඳහා ශ්‍රී ජයවර්ධනපුර
කෝට්ටේට පැමිණි බුරුම (පේගු) දුත පිරිස පෙරළා සියරට යාමෙන් පසු එරට
පිහිටුවූ කල්‍යාණි ශිලාලිපියේ ඔවුන් සිරිලක රැුඳී සිටි කාලයේදී අනුරාධපුරයට
ගොස් පුරාණ සිද්ධස්ථාන වැඳපුදාගත් බවත් ඒවා අතර එකක් වශයෙන් ශිලාථූපයක්
සඳහන් කර ඇත. ථෙරා රතනචෙතියඤ්ච මරිච්චවට්ටි චේතියඤ්ච ථූපාරාමචෙතියඤ්ච
අභයගිරි චෙතියඤ්ව සිලාචෙතියඤ්ච ජෙතවනචෙතියඤ්්ව වන්දිත්වා දක්ඛිණසාඛං
මහාබෝධිරුක්ඛඤ්ඡු වන්දිත්වා ලොහපාසාදඤ්ව පස්සිත්වා සද්්ධාතිස්ස රජගේ
වැඩිමල් පුත් ලඤ්ජිතිස්ස (කි‍්‍ර.පු. 119-109) විසින් ථූපාරාමයට
නැගෙනහිරින් ශිලාථූපය කරවූ බව මහාවංසයේ සඳහන්ය.
ථූපාරාමස්සපුරතො - සීලාථුපකමෙව ච
ලජ්ජිකාසන සාලංච - භික්ඛුසංඝස්ස කාරයී
මේ අනුව ලඤ්ජිතිස්ස රජු විසින් පදලසෙහි අවසාන ස්තූපය වූ
සිලාථූපය ඉදිකරන ලද බව වාර්තා වන හෙයින් දුටුගැමුණු රජුගේ බෞද්ධ ප‍්‍රබෝධය
යටතේ ලඤ්ජිතිස්සට පෙර ඉතිරි පදලස චේතිය ඉදිකර තිබෙන්නට ඇතැයි සැලකිය
හැකිය.
ථූපාරාමයට නැගෙනහිරින් දැනට නටබුන්ව ඇති ස්තූප දෙක හැර
වෙනත් කිසිදු ස්තූපයක නටබුන් මතු-පිට පොළවේ දක්නට නැත. මේ සම්බන්ධව අදහස්
දක්වන මහාචාර්ය පරණවිතාන නූතන අටමස්ථානයේ ආදාහන මළුව ඒ ආසන්නයේ පිහිටීම
නිසා ඒවා විනාශ වන්නට ඇති බව ඉහත කී ලිපියේ දක්වා තිබේ. වර්තමානයේ ථූපාරාම
දාගැබ් භූමියට උතුරින් ආදාහන මළුව හා විහාර භූමිය වෙන් වන පරිදි
මහාමාර්ගය ඉදිකොට ඇතත් ඉංගී‍්‍රසි පාලන සමයේ මෙම ස්තූප පිහිටි බිම ද ආදාහන
මළුව ප‍්‍රදේශයට ඇතුළත් වන පරිදි ස්තූපවලට දකුණු දෙසින් ථූපරාම නැගෙනහිර
දොරටුව දෙසට ආසන්නව මහාමාර්ගය පිහිටා තිබී ඇති බව පැරණි සිතියම්වලින් මෙන්ම
නටබුන් වූ පාරේ අවශේෂ අනුව පැහැදිලි වේ. තවද 20 වැනි සියවසේ මුල්
කාර්තුවේදී මහාමාර්ග සෑදීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් බෙල් බෞද්ධ ස්මාරකවල
ගල් යොදාගැනීමට ඉඩදීමට විරුද්ධව වලිසිංහ හරිස්චන්ද්‍ර පැමිණිලි කර තිබීමද
සැලකිල්ලට ගත යුතුය.
20 වැනි සියවසේ මුල සිට පූජා නගරය අවට ජනාවාස ඇතිවීමේදී
නිවාස සාදා ගැනීම සඳහා ස්මාරකවල ගල් ගඩොල් ගලවාගෙන ඇති බවට සාක්‍ෂය
බොහොමයක් ඇත. උදාහරණයක් වශයෙන් 1894 වර්තාවල අභයගිරි විහාර භූමියේ උතුරු
සීමාවේ පැරණි ස්තූපයක මීටරයක් පමණ උසට අවශේෂ ඉතිරි වී තිබීම වාර්තා වී ඇතත්
1994 දී අප විසින් එය පිරික්සීමේදී දක්නට ලැබුණේ පොළාව යටට ඇති අත්තිවාරම්
හා යූප ගල් කොටසක් පමණකි. ඊට ආසන්නවම පදිංචිකරුවන් විසින් නිවාස ඉදිකරනු
ලැබ ඇත. පදලස චෛත්‍ය පිහිටි භූමිය තවමත් උත්සව කාලවලදී වාහන නැවැත්වීමද
අනවසර වෙළෙඳසල් ඉදිවීමද කෙරෙන හෙයින් එම කරුණුද මෙම විනාශයට හේතු වන්නට ඇත.
එහෙත් මෙම භූමියේ කැනීම් කළහොත් මෙම ස්තූපවල අත්තිවාරම් සලකුණුවත් සොයා
ගැනීමට හැකිවනු ඇත.
අභයගිරි ව්‍යාපෘතියේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ සේවා සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග
Subscribe to:
Comments (Atom)

