Tuesday, March 31, 2015

නිවන් මඟට පිවිසෙමු

ප තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ආයතන පිළිබඳ නිරවුල් අවබෝධයක් ලබාදී මේ දුක් විඳින සත්ත්වයන් සසර කතරින් එතෙර කරවීමට මොන තරම් කරුණාවකින් ක්‍රියා කළාද? ඇස, කන, නාසය, දිව, කය හා මනස පිළිබඳව මේ තරම් විවරණාත්මක ලෙස ලෝකයේ කිසිදු ධර්මයකින් අපිට ඉගෙන ගන්නට ලැබෙන්නෙ නෑ. කිසිදු ධර්මයක මේ ඉගැන්වීම දකින්නට ලැබෙන්නෙ නෑ. එදිනෙදා ජීවිතයේදී අපි මේ අභ්‍යන්තර ආයතන ඉතාමත් සුන්දර වටිනා දේවල් හැටියට තමයි පිළිගන්නෙ. මේ වායේ යථා ස්වභාවය අපිට මේ ධර්මය නොතිබුණා නම් හිතාගන්නවත් බෑ. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ,අරමුණු ආදී බාහිර ආයතන පිළිබඳවත් අපිට මේ තරම් නිරවුල් විදියට යථාර්ථවාදී විදියට ඉගෙන ගන්න ලැබුණේ. ඒ තථාගත අර්හත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නිසා පසුගිය ලිපි වලින් කරුණු කාරණා ගණනාවක්ම අපිට ඉගෙන ගන්න පුළුවන් උනා.
ජාති ධම්ම සූත්‍රයේදී අපිට ඉපදීම ස්වභාව කොට ඇති දේ පිළිබඳව ඉගෙන ගන්න ලැබුණා. ඒ කියන්නෙ ඇස, ඇසට පෙනෙන රූප, ඇසේ විඤ්ඤාණය, ඇසේ ස්පර්ශය ඒ නිසා උපදින සැප, දුක්, උපේක්ෂා ආදිය ඉපදීම ස්වභාව කොට තිබෙන බව අපිට ඉගෙන ගන්න ලැබුණා. මේ විදියටම අනිකුත් ආයතන වලට සම්බන්ධ කරල අපට දැනගන්න ලැබුණා. ජරා ධම්ම සූත්‍රයේදී වයසට යාම නැත්නම් ජරාවට පත්වීම ස්වභාව කොට ඇති දේවල් ගැන අපිට ඉගෙන ගන්න ලැබුණා. ව්‍යාධිධම්ම සූත්‍රයේදී රෝදුක් වැළඳීම ස්වභාව කොට ඇති දේ ගැන ඉගෙන ගන්නට ලැබුණා. මරණ ධම්ම සූත්‍රයේදී අපි ඉගෙන ගත්තෙ මරණය ස්වභාවකොට තිබෙන දේවල් ගැන, ඊළඟට සෝකධම්ම සූත්‍රයේදී ශෝකවීම ස්වභාවකොට ඇති දේ ගැන ඉගෙන ගන්නට ලැබුණා. සංකිලේස ධම්ම සූත්‍රයේදී කෙලෙස් වලින් කිලිටිවීම ස්වභාවකොට ඇති දේ පිළිබඳව ඉගෙන ගන්නට අපිට පුළුවන් උනා.

ඒ වගේම පින්වතුනි, ඛය ධම්ම සූත්‍රයේදී ක්ෂ වීම, නැත්නම් නැතිවීම ස්වභාවකොට ඇති දේ පිළිබඳව අපිට ඉගෙන ගන්නට ලැබෙනවා. ඒ වගේම වයධම්ම සූත්‍රයේදි වැනසීම ස්වභාවය කොට ඇති දේ පිළිබඳව ඉගෙන ගන්නට පුළුවන්. සමුදයධම්ම සූත්‍රයේදී හටගැනීම ස්වභාව කොට ඇති දේ ගැන ඉගෙන ගන්නට ලැබෙනව. නිරෝධ ධම්ම සූත්‍රයේදී නිරුද්ධවීම ස්වභාවකොට ඇති දේ ගැන අපිට ඉගෙන ගන්නට පුළුවන්.
මේ ආයතන හැම එකක් තුළම ඒ මුලින් කියපු ස්වභාවයන් තියෙනව. ඒ වගේම ඒ ආයතනත් එක්ක බද්ධ වූ දේවල් වලත් ඒ ස්වභාවය තිබෙනවා. ඒ කියන්නෙ පින්වතුනි ඇස. කන, නාසය, දිව, කය, මනස කියන මේ ආයතනවල මේ ස්වභාවය තියෙනව. ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු කියන මේ බාහිර ආයතන වලත් මේ ස්වරූපයත් තියෙනවා. ඒ වගේම ඇසේ විඤ්ඤාණය, කනේ විඤ්ඥාණය, නාසයේ විඤ්ඤාණය, දිවේ විඤ්ඤාණය, කයේ විඤ්ඤාණය, මනසේ විඤ්ඤාණය කියන මේ විඤ්ඤාණ වලත් ඒ සියලුම ස්වරූපයන් තියෙනවා. ඒ වගේම ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය කියන මේ ස්පර්ශ තුළත් ඒ සියලු ස්වරූපයන් ඒ කියන්නෙ ජාති, ජරා, ව්‍යාධි, මරණ, සෝක, සංකිලේස, ඛය, වය, සමුදය, නිරෝධ කියන ස්වරූපයන් තියෙනව. ඒ වගේම ඒ ස්පර්ශයන් නිසා උපදින සැප, දුක්, දුක් සැප රහිත විඳීම් වලත් මේ සියලුම ස්වභාවය දකින්නට ලැබෙනව.
ඉතිං පින්වතුනි, මේ ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා මේ ආයතන පිළිබඳව සැබෑ ලෙසම තේරුම් ගන්නකොට මේවාට ඇලෙන ස්වභාවය නැති වෙලා යනවා. මේවට තියෙන ඇල්ම දුරු කර ගන්නට ලැබෙනව. අපි මේ සසර පුරාවට කල්ප කෝටි ගණනක් විවිධ උප්පත්ති වලදී විවිධ වර්ගයේ ඇස්, කන්, නාස්, දිව, කය, මන් ආදිය ලබමින් ඒවාට ගොදුරු වෙලා පැමිණියා. අපි නිරතුරුවම ඒවායේ ආශ්වාදයට අහුවුණා. ඒවායේ ආදීනව දකින්න අපිට බොහෝදුරට නොහැකි උනා. ඒ හින්ද නැවත නැවතත් පටිච්ච සමුප්පාද ක්‍රියාවලියට අහුවුණා. කෝටි ප්‍රකෝටි වාර ගණන් ඇස් -ඉපදුනා. කන් ඉපදුනා. නාස් ඉපදුනා. දිව ඉපදුනා කය ඉපදුනා. මනස් ඉපදුනා. ඒවා වයසට පත් උනා. ලෙඩ උනා, මරණයට පත් උනා. සෝකයට පත් උනා. කෙලෙස්වලින් කිලිටි උනා. ඒවා ක්ෂය වෙලා ගියා. වැනසිලා ගියා ඒවා නැවත හටගැනීමේ ස්වභාවයට පත් උනා. නමුත් ඒවා නිරුද්ධ කර ගන්න තාම අපිට බැරි උනා.
ඉතිං ඒ නිසා අපි මේ ජීවිතයේදී ඒ සඳහා උත්සාහ කරන්න ඕන. ඒ සඳහා යථාර්ථය දැනගෙන මේ ආයතන ගැන අපි සැබෑ ලෙසම කලකිරෙන්න ඕන. එහෙනම් ඇසේ ඇත්තම ස්වභාවය තේරුම් අරගෙන ඇස ගැනත්, රූප ගැනත්, ඇසේ විඤ්ඤාණ ගැනත්, ඇසේ ස්පර්ශය ගැනත්, එනිසා හට ගන්නා බිඳීම් ගැනත් සැබෑ ලෙසම කලකිරෙන්න ඕන. ඒ වගේම කන, නාසය, දිව, කය, මනස ගැන සැබෑ ලෙස තේරුම් අරගෙන කලකිරෙන්න ඕන. ඉතිං ආර්ය ශ්‍රාවකයෙකු ලෙස අපි ඒ සැබෑම කලකිරීම ඇති කර ගත්තට පස්සෙ අපිට ඒ ආයතනවලට තියෙන ඇල්ම දුරු කර ගන්න පුළුවන්. එතකොට ආපසු ඉපදීමක් වෙන්නෙ නෑ. එතකොට බඹසර වාසය නිමා වෙනව. නිවන් මග වෙනුවෙන් කළ යුතු දෙය කළ කෙනෙක් බවට පත් වෙනව. ආපසු ඉපදීමක් වන්නෙ නෑ. ඉතිං අප සියලු දෙනා ඒ උතුම් තත්ත්වයට පත්වීමට අධිෂ්ඨාන කර ගනිමු.
http://www.lakehouse.lk/alokoudapadi/2015/04/01/_art.asp?fn=a1504013
Home

Monday, March 30, 2015

කැඩපත කුමට ද?

“කැඩපත” ඉදිරියට යන තැනැත්තා එමඟින් සිදු කරන්නේ, බලන්නේ තමාගේ ම රුව දෙස බැලීමය. විමසීම ය.
වෙසෙසින් ම තම මුහුණේ පෙනීමට, දැකීමට ඇති අඩුපාඩු කවරේදැයි විපරම් කර බලයි.
තම මුහුණේ අන්‍යයන්ට දැකීමට, පෙනීමට ඇති අප්‍රසන්නතාවයන් ඉවත් කර ගැනීමට එමඟින් පෙළෙඹෙයි.
දිනකට කී වරක් නම් කැඩපත ඉදිරියට ගොස් අඩුපාඩු විමසා බලයි ද? ඒ අඩුපාඩු අඩු වැඩි තරමට ම කැඩපත ඉදිරියට යයි.
තමන් දෙස බලන අයෙක් තම මුහුණෙහි ඇති අඩුපාඩු දැකීමෙන් තමා වෙත යම් පාඩුවක් වෙතැයි සිතන තරමට තමා තමන් වෙත ම විමසීම සොයා බැලීම අගය කළ යුතු ය.
රුව බාහිරෙන් ශෝභාවත් කර ගැනීමට කෙතරම් නම් උත්සාහයක් දරයිද? ඇතැම් විට වරලස පීරා විවිධ හැඩ වැඩ ගන්වයි. විවිධ සුවඳ ගල්වයි. ඇසට, ඇහි බැමට විවිධ හැඩ ගන්වයි. විවිධ දේ ආලේප කරයි. ඒ විවිධ හැඩ ගැන්වීම් කුමටද? කාටද?
ඒ තමාගේ රුව දෙස බලන දකින තමාට ම බැලීමට ය. එසේ නොමැති නම් සමාජයට බැලීමට සහ දැකීමට ය.
යම් අයෙකු ශෝභාවත්ව සිටීම අගය කළ යුතු ය. ශෝභාවත් විය යුත්තේ අලංකාර විය යුත්තේ බාහිර පෙනුමෙන් පමණක් ම නොවේ.
ඕනෑම අයෙකුගේ ජීවිතය බාහිර මෙන්ම අභ්‍යන්තර වශයෙන් ද ලස්සන විය යුතු ය. ශෝභා සම්පන්න විය යුතු ය.
මල, පුෂ්පය සුවඳය. සුවඳවත් වූ මල ලස්සන වූ තරමට දකින, බලන හැම දෙනාටම පි‍්‍රයමනාප වේ. පි‍්‍රයශීලී වේ.
මඩගොහොරුවක පිපෙන නෙළුම පවා ඒ මඩ ගොහොරුවෙන් ඉහළට එසැවී යයි. බොදුනුවා ඉතා කැමැත්තෙන් හා ඕනෑකමෙන් ඒ නෙළුම සම්බුදු පුදට පවා නෙළා ගනියි.
කෙතරම් මල් තිබුණද ඒ හැම මල බුදු පුදට ද නොගනී.
මල් අතර බොහෝ මල් සුගන්ධය පතුරයි. කලාතුරෙකින් මලක් දුගන්ධය පතුරයි. කිඩාරං මල දුගඳ ය. ඒ දුගඳට පි‍්‍රය නොවේ.
ජීවිතය මලක් වැනි ය. ඒ මලක් වැනි ජීවිතය ලස්සන විය යුතු ය. එමෙන් ම අලංකාර ද විය යුතු ය. එසේම සුවඳවත් විය යුතු ය.
ජීවිතයක් ජීවත් විය යුත්තේ, ජීවත් කළ යුත්තේ සුවඳ හමන මලක් මෙන් සුගන්ධවත් වන්නට ය. ලස්සන මලක් මෙන් අලංකාර කරන්නට ය. ශෝභාවත් කරන්නට ය.
එසේ වූ විට ඒ ජීවිතය කාටත් පි‍්‍රයශීලී වේ. ජීවිත අර්ථ සිද්ධිය සලසා ගත්තා වේ.
හිමිදිරියේ රැය පහන් කළ මොහොතේ පටන් රෑ නින්දට යන මොහොත දක්වා පමණක් නොව සුව නින්දක් පවා අපේක්‍ෂා කරන්නේ නම් ඒ දක්වා ද කෙතරම් යුතුකම් සහ වගකීම් ඉටු කළ යුතුව ඇත්ද?
දම්වැලක පුරුක් මෙන් ජීවත් වන සෑම මොහොතක් පාසාම අප විසින් ඉටු කළ යුතු වගකීම් හා යුතුකම් එකිනෙක ඉටු කළ යුතු නොවේද?
තම යුතුකම සහ වගකීම නිසි ලෙස හරිහැටි ඉටු නොකරන්නේ නම් අයිතිවාසිකම් කෙසේ ලබා ගන්නේ දැයි මොහොතක් සිතා බැලිය යුතු කරුණකි.
එක් එක් තැනැත්තා විසින් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් සිතා මතා පැහැර හරින්නේ නම් ඒ තැනැත්තා අයිතිවාසිකම් පිළිබඳ කෙසේ කතා කරන්නේ ද?
යුතුකම, වගකීම ඉටු කිරීම මිනිස්කමය. බෞද්ධකමය. උසස් ගුණ දහමය.
ගුණ දහමෙන් තොර ජීවිතය කිඩාරං මලක් මෙනි. යුතුකම, වගකීම පැහැර නොහරින ජීවිතය හැම විට ආදර්ශවත් ය. සැමට ආශිර්වාදයකි.
බාහිර අලංකාරයට වැය කරන මුදල ජීවිතයක අධ්‍යාත්මික සුවය සඳහා වැය කරන්නේ නම් යුතුකම, වගකීම සඳහා එය කැප කරන්නේ නම් මිනිස්කම කෙතරම් නම් ලස්සන වේද?
ගෙවී ගිය කාලය දෙස බලා පසුතැවිලි විය යුතු නොවේ. එහෙත් උදාවන හෙට දවස සැනසිල්ලේ ගත කළ යුතු නම් ගෙවී ගිය අතීතයේ දී අත පසු වූ යුතුකම් හා වගකීම් නොපිරිහෙලා ඉටු කළ යුතු බව අමතක නොකරන්න.
සුවඳ මල බුදු පුදට ගෙන එන්නාක් මෙන් ගුණ බර දිවි පෙවෙතක් ගත කළහොත් ඒ දිවි පෙවෙතෙහි අඩු පාඩු කැඩපතෙන් අමුතුවෙන් නැරඹිය යුතු නොවේ. එබැවින් අතපසුවීම් සිදුවීම සාමාන්‍ය ස්වභාවයකි. සිතා මතා අතපසුවීම අගය කළ නොහැකි ය.

උපුටා ගැනීම  http://www.lakehouse.lk/budusarana/2012/01/01/main_editorial.asp

ලංකාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ


තිහාසික වටිනාකමින් කිසිසේත්ම අවතක්සේරු කළ නොහැකි මෙය ගොඩ නංවන ලද්දේ වළගම්බා රජතුමා විසින් බව කියැවේ. රජතුමා තම බිසව වූ සෝමා දේවිය වෙනුවෙන් කරවූ සෝමාරාමය මෙය යැයි ද මතයක් පවතී.
එස්.පරණවිතාන යන්ගේ ‘ලංකාවේ ස්තූපය’ නම් ග්‍රන්ථයේ පැවසෙන්නේ වළගම්බා රජතුමා විසින් නිමවන ලද සීලාසොබ්භකණ්ඩක චෛත්‍ය මෙය විය යුතු බව අනුමාන වශයෙන් අදහස් කෙරෙන බවයි.
එහෙත් ‘අනුරාධපුර අටමස්ථාන’ පොත ලියූ මහාචාර්ය ටී.ජී. කුලතුංගයන් පවසන්නේ ලංකාරාමය පුරාණයේ හඳුන්වා ඇත්තේ මණිථූපාරාමය, මණිසෝමාරාමය ආදි නම් වලින් බව බෝධිවංස ගැටපදය මහාවංසය ආදියෙන් හෙළි වන බවත්. මෙය සීලසොබ්භකණ්ඨක (ගල් හෙබකඩ) චෛත්‍ය යනුවෙන් වරදවා හඳුන්වා තිබෙන බවය. අද ලංකාරාමය වෙනම ආරාමයක් වුවද පුරාණයේ මෙය අභයගිරියට අයත් ආරාමයක් ලෙස පැවැති බවත් මෙය ඊට අයත් භික්‍ෂුණී ආරාමය විය හැකි යැයි තවදුරටත් ඔහු පවසයි.
මහා විහාරයට ථූපාරාමය තිබුණා සේ අභයගිරි විහාර සංකීර්ණයට ලංකාරාමය සතුව පැවැතුණු බව කියැවෙයි.
ලංකාරාම චෛත්‍යයද ථූපාරාම චෛත්‍යයයේම වටදාගෙයකින් ආවරණය වී තිබූ අලංකාර ස්තූපයකි. ‘ලංකාවේ ස්තූප’ ග්‍රන්ථය පවසන පරිදි මෙය ථූපාරාමයට වඩා ප්‍රමාණයෙන් කුඩාය. ස්තූපය පිහිටා ඇති වටකුරු මළුවේ විෂ්කම්භය අඩි 132 අඟල් 2 කි. ස්තූපයේ පාදම අඩි 44 අඟල් 2 ක විෂ්කම්භයකින් යුක්ත ය. මෙය ද ථූපාරාමයේ ආකෘතියට සමගාමීව පැවැතියේය. මෙම ස්තූපයන් දෙකෙහිම වටදාගෙය දරා සිටි සෛලමය කුලුණු හිස් ලංකාවට පමණක් විශේෂ වූ නිර්මාණයන් බව පැවැසෙයි. ‘ලංකාවේ ස්තූපය’ නම් ග්‍රන්ථයේ තවදුරටත් සටහන් වන්නේ මෙය ප්‍රතිසංස්කරණය කිරීමේදි ආදි ලක්‍ෂණ විකෘති කරමින් අව ලක්‍ෂණ ආකාරයකින් ප්‍රකෘතිමත් කර ඇති බවකි.
චෛත්‍යයේ වටදාගෙය ඉදිකර ඇත්තේ කණිට්ඨතිස්ස රජතුමා (ක්‍රි.වර්ෂ 164 – 192) බව මහාවංසය පවසයි. ලංකාරාමයේ පොහොය ගෙය කරවන ලද්දේ ගෝඨාභය රජතුමා (ක්‍රි.ව. 253-266) විසිනි. වර්තමානයේ ස්තූපයේ විෂ්කම්භය අඩි 38 ක් පමණ වෙයි.
වළගම්බා රජතුමා තම ආදරණීය බිසවගේ සෙනෙහසට ගෞරවයක් වශයෙන් තිළිණ කළේ චෛත්‍යයකි. ආක්‍රමණික සොලී හමුදාවක් හා සටන් වැදි පරාජයට පත්වූ වළගම්බා රජතුමා පලාගිය රියට වේගවත්ව යාමට නොහැකි වූයේ එහි වූ බර වැඩිකම නිසාය.රජතුමාගේ අයියණ්ඩියගේ බිසව වු අනුලා දේවියද ඔහුගේ සොහොයුරාගේ පුතා වූ මහාචූලී හා රජයුවලගේ පුතා වු මහානාගද නැග සිටි රථයේ වේගය වැඩි කරන අටියෙන් මාරාන්තික සතුරු ආක්‍රමණය පෙනි පෙනී ආත්ම පරිත්‍යාගයෙන් රථයෙන් බැස්සේය. වළගම්බා රජතුමාගේ අග මෙහෙසිය මේ සෝමාදේවිය නම් වීර මාතාවය. එම නිසා මව්බිම නැවතත් එක් සේසත් කිරීමට නිරිඳකු අපට ඉතිරි විය. ඒ උතුම් මාතාවගේ ආත්ම පරිත්‍යාගයට මෙන්ම උත්තරීතර සෙනෙහස වෙනුවෙන් රජතුමා සෑදූ සදාණුස්මරණීය සිහිවටනය ලංකාරාමය නම් වන මෙම ඓතිහාසික ස්තූපයය.

උපුටා ගැනීම http://www.lakehouse.lk/budusarana/2012/01/16/tmp.asp?ID=temp01

Sunday, March 29, 2015

ශ්‍රී මහා බෝධීන් වහන්සේ

තුරු ඉන්දියාවේ උරුවෙල් ජනපදයේ ගයා නම් ස්ථානයේ පිහිටා තිබු ඇසතු නම් වෘක්ෂය යටදී සිද්ධාර්ථ තාපසතුමාණෝ (ක්‍රි.පූ 588) වන වර්ෂයේ වෙසක් මස (මැයි මස) පුර පසළොස්වක දිනයේ බුද්ධත්වයට පත් විය. බුද්ධත්වයට පත් වු පසු එම ඇසතු වෘක්ෂය ඉන්පසු බෝධි වෘක්ෂය (බෝ ගස) ලෙස හැඳින්විය. මිහිඳු මා හිමියෝ බුදුන්ගේ නිර්මල වූ දහම් පණිවිඩය ද රැගෙන ‍ලක්දිවට වැඩම කළේ (ක්‍රි.පූ. 250) දීය. මහත් ගෞරව පූර්වකව එය පිළිගත් දෙවන පෑතිස් රජතුමා ඒ සඳහා දිය හැකි සියලු අනුග්‍රහයන් ලබා දුන්නේය. ඉන් පසු රජු මෙහෙණි සස්න සඳහා සංඝමිත්තා තෙරණියන් එවන සේ අශෝක අධිරාජ්‍යයා වෙත හසුන් පත් යැවුවේ මිහිඳු හිමියන්ගේ ඉල්ලීම පරිදිය. ඒ අසා ප්‍රසාදයට පත් වූ අශෝක රජතෙමේ තම දියණිය වූ සංඝමිත්තා තෙරණිය පමණක් නොව, බුද්ධගයාවේ බුදුන් වහන්සේ බුද්ධත්වය ලද ස්ථානයෙහි මහා බෝධියෙන් ලබා ගත් දක්ෂිණ ශාඛාව ද එවීමට තරම් කාරුණික වූයේය. බෝධි අංකුර සමග විවිධ සමාජ ශ්‍රේණීන්ට අයත් වූ ශිල්පීන් රැසක් ද අශෝක රජු විසින් එවන ලද බව සඳහන්ය. තාමුලිප්ත තොටින් නැව් නැඟි පිරිවර ලක්දිව දඹකොළ පටුනින් ‍ගොඩබසිනු ලැබ දෙවනපෑතිස් රජතුමා විසින් මහත් ගෞරව පූර්වකව පිළිගන්නා ලදී. ඒ අනුව මහ පෙරහරින් වඩමවා ගෙන එනු ලැබූ බෝධි ශාඛාව වර්තමාන මහා මේඝ වනයෙහි (ක්‍රි.පූ. 249) දී දෙවන පෑතිස් රජු විසින් රෝපනය කරන ලදී.
බෝධීන් වහන්සේ තැන්පත් කොට ඇති වේදිකාවේ උස අඩි 21කි. දිග අඩි 71කි. පළල අඩි 57කි. වේදිකාව මාලක 3කින් සමන්විත වන අතර පොළොව මට්ටමේ පිහිටි පළමු මාලකය වැලි මළුව නම් වේ. එහි පරිවාර බෝධීන් 41 ක්, හිඳුවා ඇති අතර මේවායින් තුනක් උඩ මළුවේ ද ඉතිරිවා ඊට පහළ මළුවේ ද ඇත. ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සඳහා මෙම පරිවාර බෝධීන් රෝපණය කල බව පිලිගත හැකිය. ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දියුණුව ද, රැකවරණය ද සඳහා එකල රජවරුන්ගෙන් ලැබුන දායකත්වය අති විශාලය. දෙවන පෑතිස් රජු බෝධිඝරයක් කරවූයේ ආරක්ෂාව තහවුරු කරනු පිණිසය. ධාතුසේන රජු බෝධි අංගනය වටා තිබු ද්වාර සතරක් සහිත පවුර පිළිසකර කර වූයේය. බෝධිඝරයේ පියස්ස උළුවලින් ආවරණය කළේ මේඝවර්ණ රජුය. මහානාග රජු ඒ තුල පිළිම තැන්පත් කළ අතර දෙවෙනි සේන රජු එය ඉදිරිපිට විහාරස්ථානයක් ඉදිකල බව සඳහන්ය. බෝධි විහාරය ගොඩනගන ලද්දේ වසභ රජු විසිනි. ජෙට්ඨතිස්ස රජු එයට පිවිසුම් දොරටුව සවි කිරීමට කටයුතු කළ අතර වෝහාරික තිස්ස රජුද මහාසේන රජු ද ලෝකඩ ප්‍රතිමා තැන්පත් කොට ඇත. පළමුවන අග්‍රබෝධි රජුගේ විශිෂ්ට කාර්යයක් වූයේ විහාරය අබියස සලපතළ මළුවක් ඉදි කිරීමය. වර්තමානයේ බෝධිය වටා ශෛලමය ප්‍රාකාරයකි. එහි නිර්මාතෘවරයා කීර්ති ශ්‍රී රාජසිංහ රජුය. බෝධි ප්‍රාකාරය එක් පැත්තකින් අඩි 330ක් දිගය. අනික් පැත්තෙන් අඩි 274 ක් වන අතර උස අඩි 10කි. කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලයේ සැදැහැවත් බෞද්ධයින්ගේ සිත් රිදවන දෙයක් විය. ඒ අනුරාධපුරය වල් බිහි වී සතුන්ගේ රජ දහනක් වීමය. පසුබා නොගිය බෞද්ධයෝ නිඳිමරා ගිනිමැල දල්වමින් බෝධිය ආරක්ෂා කළහ. මේ සඳහා බොහෝ දර අවශ්‍ය විය. ඔවුහු වර්ෂයකට සෑහෙන තරමට දර රැස්කර ගැනීම සඳහා දිනයක් වෙන්කර ගත්හ. කල් යෑමේදී එම දිනය "දරමිටි පෝය" ලෙසින් ද එම ක්‍රියාව දරමිටි පෙරහැර ලෙසින් ද හඳුන්වන්නට විය. බෝධිය නැහැවීම පිණිස තිසා වැවෙන් ජලය ගෙන ඒම ද පැරණි චාරිත්‍ර විධියකි. එකල බෝධීන් වහන්සේ හා බැඳුණු අවුරුදු පතා පැවැත් වූ පුජෝත්සව සතරකි. ඒවා මෙසේය.
  1. අලුත් අවුරුදු මංගල්‍යය
  2. පරණ අවුරුදු නානුමුර මංගල්‍යය
  3. කාර්තික මංගල්‍යය
  4. අලුත් සහල් මංගල්‍යය
සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ජම්බුද්වීපයේ සිට ශ්‍රී මහාබෝධි අංකුරය වැඩමවා ගෙන ආවේ උඳුවප් පුර පසළොස්වක පොහොය දින බැවින් එම පොහොය දින අනුරාධපුරයට ඉතා සුවිශේෂ දිනයකි. ලොව පැරණිම ආගමික වෘත්තීන්ගෙන් එකක් සේ සැලකෙනුයේ ශ්‍රී මහා බෝධින් වහන්සේ ආරක්ෂා කිරීමයි. ඒ සඳහා වූ විශේෂ ආරක්ෂකයෝ ඔවුන්ට පාරම්පරිකව උරුම වූ ඒ අසල ඇති ගම්වල ජීවත් වෙති. ශ්‍රී මහා බෝධින් වහන්සේ යනු ලොව ඇති පැරණිතම වෘක්ෂයන් අතුරෙන් එකකි. 2008 වන විට මෙයට අවුරුදු 2550 ඉක්මවා ඇත.
සිද්ධාර්ථ ගෞතම තවුසණාන් බුද්ධත්වය ලැබුවේ උතුරු ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ එක් ඇසතු වෘක්ෂයක් යටදීය. බුද්ධත්වයෙන් පළමු හා දෙවන සති ගති කළේද එම ඇසතු ගස ළඟය. මේ නිසා එම ඇසතු ගස බෝධි යන අළුත් නමකින් ප්‍රසිද්ධ විය. බුද්ධත්වය ලැබීමට ආධාර වූ වෘක්ෂය නිසා එය බෞද්ධයන්ගේ පාරිභෝගික චේතියක් බවට පත් විය. ඇත්ත වශයෙන් ම එහි අර්ථයට අනුව එය බෞද්ධයන්ගේ ඥාන වෘක්ෂයයි. බෝධි යන්නෙන් සතර මාර්ගඥානය අදහස් වන බව අටුවාවල සඳහන් වෙයි.  සිද්ධාර්ථ ගෞතම තවුසණාන් බුද්ධත්වය ලැබුවේ උතුරු ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ එක් ඇසතු වෘක්ෂයක් යටදීය. බුද්ධත්වයෙන් පළමු හා දෙවන සති ගති කළේද එම ඇසතු ගස ළඟය. මේ නිසා එම ඇසතු ගස බෝධි යන අළුත් නමකින් ප්‍රසිද්ධ විය. බුද්ධත්වය ලැබීමට ආධාර වූ වෘක්ෂය නිසා එය බෞද්ධයන්ගේ පාරිභෝගික චේතියක් බවට පත් විය. ඇත්ත වශයෙන්ම එහි අර්ථයට අනුව එය බෞද්ධයන්ගේ ඥාන වෘක්ෂයයි. බෝධි යන්නෙන් සතර මාර්ගඥානය අදහස් වන බව අටුවාවල සඳහන් වෙයි. ඉන්දියාවේ අස්වත්ථ වෘක්ෂය මොහෙන්ජොදාරෝ හා හරප්පා යුගවල සිට වේදිකා යුගය හරහා දිගටම පුජනීය වෘක්ෂයක් විය. දෙවියන් හෙවත් දේව බලය ඇති වෘක්ෂයකි එය. හින්දූන් එය ක්‍රිෂ්ණට හා විෂ්ණුට සම්බන්ධ කර තිබේ. එම අදහස් පසුකාලින බෞද්ධයින් විසින් පිළිගෙන ඇති බව පෙනී යයි. අනුරාධපුර ශ්‍රී මහා බෝධියට අධිගෘහිතව සිටින්නේ කළුදේවතා බණ්ඩාර යන දේශිය නමින් හැඳින්වෙන විෂ්ණු යයි අදහනු ලැබේ. බෙල්ලන්විල රජමහා විහාරයේ බෝධියට අධිගෘහිත විෂ්ණු බව ඉතා ප්‍රසිද්ධය. අනුරාධපුර මහමෙව්නා උයනේ දැනට උඩ මළුව නමින් හැඳින්වෙන ස්ථානයේ ඇති පෞරාණික බෝධින් වහන්සේ ඉන්දියාවේ බුද්ධගයාවේ බෝමැඩ මුල් ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවයි. එය ශ්‍රී ලංකාවට ගෙනාවේ (කි.පු 3) වෙනි ශතවර්ෂයේ දි මිහිඳු හිමියන්ගේ සහෝදරිය වූ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රධාන භික්ෂුණින් විසිනි. එය එසේ ශ්‍රී ලංකාවට එවීමට මිහිඳු හිමිගේ හා සංඝමිත්තා තෙරණියගේ පියා වු ධර්මාශෝක අධිරාජයා වැඩියෙන්ම ආදරය හා ගෞරවය දැක්වු වස්තුව ශ්‍රී මහා බෝධිය වු අතර එහි දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකාවට එවීමෙන් ශ්‍රී ලංකාව කෙරෙහිත් එහි බුදු දහම ව්‍යාප්ත කිරීමට ක්‍රියා කළ තම පුතා හා දියණිය කෙරෙහිත් දැක්වු සැළකිල්ල නිසා නොවන්නට එම බෝධි ශාඛාව මෙරටට නොලැබෙන්නට ඉඩ තිබුණි. අනුරාධපුර ශ්‍රී මහා බෝධිය පිහිටි භුමිය බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පුජනීයත්වයට පත් වුවක් බව මහාවංශයේ සඳහන් වෙයි. මේ හේතුව නිසා එම ස්ථානය ශ්‍රී මහා බෝධිය සඳහා සුදුසු බව තීරණය කළේ මිහිඳු හිමියන් විසිනි. ඉතිහාසඥයින් විසින් ගණන් බලා ඇති අන්දමට අනුරාධපුර ශ්‍රී මහා බෝධිය රෝපණය කරන ලද්දේ (ක්‍රි.පූ. 246) දිය. මෙම දිනය (ක්‍රි.පු. 307) ට ආසන්න දිනයක් වීමට හොඳටම ඉඩ තිබේ. මිහිඳු හිමියන්ගේ පැමිණිමට මාස හතරකට පසුව සංඝමිත්තා තෙරණිය ‍බෝධි ශාඛාව රැගෙන ආවාය. මහමෙව්නා උයනේ බෝධි රෝපණය විශාල ජනකායක් මධ්‍යයේ සිදු විය. එම උත්සවයට ඈත ප්‍රදේශවලින් ද ජනයා පැමිණි බව වාර්තා වෙයි. රුහුණේ කතරගම හා සඳුන්ගම ක්‍ෂ්ත්‍රියන්ගේ පැමිණිම ද සඳහන් වෙයි. ඔවුන් බුදුන් වහන්සේගේ ඥාතිවරුන් ලෙස සැළකිය හැකිය. එසේ නොවන්නට එතරම් දුර බැහැර සිට අනුරාධපුරයේ පැවැති බෝධි රෝපණ උත්සවයට යාමට හේතුවක් නැත.  අනුරාධපුර ශ්‍රී මහා බෝධිය උස්බිමක රෝපණය කර එය වටා පනා බැමි සතරක් ද උඩට නැගිමට පියගැට පෙළක් ද පසුව බෝධිය වටා පවුරක් හෝ වැටක් ද කරවූ බව සඳහන් වෙයි.

උපුටා ගැනීම

සමාධි බුද්ධ පිළිමය

භයගිරි මහා විහාර සංකීර්ණයට අයත් ගොඩනැගිලි අතර මෙම අගනා බුදුරුව සොයාගනු ලැබුවේ (ක්‍රි.ව. 1880) දීය. ඒ වන විට එය බිම පතිත වී නාසය බිඳී තිබූ අතර පසුව කරන ලද පිළිසකර කිරීම්වල දී එහි නියම ශාන්ත ස්වරූපයට හානි පැමිණීම මහත් අභාග්‍යයකි. බුදුන් වහන්සේගේ සමාධි ගුණය මුර්තිමත් කරන මෙම විශිෂ්ට නිර්මාණය සිව්වන සියවසට හෝ එයටත් පෙර කාල සීමාවට අයත් බව පිළිගැනේ. මෙම ප්‍රතිමාව වීරාසනයෙන් හිඳ සිටින හා ධ්‍යාන මුද්‍රාව පළ කරන අන්දමින් හුණු ගලින් නෙළා ඇත. දෙනෙත් දියමන්ති හෝ මැණික් වලින් නිර්මිත වන්නට ඇත ද නිධන් සොරු ඒවා ද සොරාගෙන ඇත. සමාධි බුදු පිළිමයේ උස අඩි 7යි අඟල් 3කි. මෙම ප්‍රතිමාව බෝධි වෘක්ෂයක් වටා තැන්පත් කර තිබූ ප්‍රතිමා සතරකින් එකක් වන්නට ඇතැයි සැලකේ. සමාධි හිඳි පිළිම සතරින් උතුරු දිශාවට මුහුණලා සිටි මෙම ප්‍රතිමාව පමණක් සොයාගෙන ඇති අතර දකුණට මුහුණලා සිටි ප්‍රතිමාවෙහි ශේෂ වූ කොටස් කිහිපයක් පමණක් හමු වී ඇත. ශ්‍රී ජවහර්ලාල්නේරු තුමා මෙම පිළිමය අභියස භාවනා කිරීමෙන් ඉමහත් චිත්ත ශක්තියක් ලබා ගත් බව පැවසේ. එය ද මෙහි කීර්තිය දස දෙස පතළ වීමට එක් හේතුවකි.

සමාධි බුදුරුව අභයගිරි විහාරයේ කුට්ටම් පොකුණටත් අභයගිරි ස්ථූපයටත් අතර වට වන්දනා පාර අයිනේ සමාධි පිළිමය වෙයි. මේ පිළිමය ධ්‍යාන මුද්‍රාවෙන් හා පර්යංක හෙවත් වීරාසනයෙන් යුක්තය. මුලදී පිළිමයේ සියුම් බදාමයක් හා වර්ණාලේප කර තිබුණු බවට සාධක තිබේ. ඇ‍‍ඟේ පාට රෝස පාට විය. සිවුර රතු පාට විය. හිස මුදුනේ මහායාන උෂ්ණීෂය නැත. පසු කාලයක සිරස් පතක් සවි කර තිබුණු බවට සාධක 1 හිස මුදුනේ වෙයි. මහා විහාර සමප්‍රදායට අයත් පැරණි පිළිමයක් වන මෙහි ශරීරය තරබාරු වන බවක් පෙනේ. ඇස්වල මැණික් අල්ලා තිබුණු බවට සාධක වෙයි. දක්ෂිණාවර්ත කෙස් පිඩු හිසේ වෙයි. නාසය කැඩී නැවත ප්‍රතිසංස්කරණය කර තිබේ. පා සාමාන්‍ය ප්‍රමාණයට වඩා දිගය. නළල, නාසය හා නිකට දක්වා නාසයෙන් යට එක හා සමාන දිගකින් යුක්ත නැත. නාසය වඩා දිගය. ඒකාංශ පරූපනයෙන් යුත් මෙහි සිවුර ඇගටම ඇලී තිබෙන ලෙස දැක්වේ. භාව ප්‍රකාශනය අතින් මේ පිළිමය දෙවැනි වන්නේ පංකුලිය විහාරයේ පිළිමයට පමණි. බුදුරජාණන් වහන්සේ සමාධියේ පසුවන බව මුහුණෙන් පමණක් නොව මුළු ශරීරයෙන් ම ප්‍රකාශ වෙයි. ජවහර්ලාල්නේරු සිරගතව සිටි කාලයේ මේ පිළිමයේ ඡායා රූපයක් ළග තබාගෙන ඒ දෙස බලාගෙන මහත් සැනසීමක් ලැබීය.

Thursday, March 26, 2015

සඳකඩ පහන..


පුජනිය හා රාජකීය ගොඩනැගිලි දොරටුවල පියගැට පෙළ අග එක්කෝ දිග හතරැස් ගල්පුවරුවක්, නැතිනම් දෙකොන් හැඩ ගැන්වු වඩාත් පළල දිග හතරැස් ගල් පුවරුවත් එසෙත් නැත්නම් අඩහ‍ඳේ හැඩය ඇති ගල් පුවරුවක් වෙයි. අඩහ‍ඳේ හැඩය ඇති ගල් පුවරුව සඳකඩ පහණ නමින් හඳුන්වනු ලැබේ. එය දිග හතරැස් ගල් පුවරුවෙන් ඒ ආකාරයට විකාශනය වූවකි. කිසිම කැටයමක් නැති සඳකඩපහන් මෙන්ම අගනා මෝස්තර කැටයම් කරන ලද සදකඩපහන් ද වෙයි. මහා විහාරය, අභයගිරි විහාරය, ජේතවන විහාරය හා මිරිසවැටි විහාරය යන ස්ථානවල ඒවා දක්නට ලැබේ. කැටයම් සහිත සඳකඩපහන්වල මෝස්තර සෑම විටම සමාන නැත. ශිල්පින් සිය අභිමතය පරිදි ඒවා සඳහා සුදුසු මෝස්තර තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුවී ඇති සඳකඩපහන් වලින් කලාත්මක අතින් ඉතා උසස් සදකඩ පහණ ඇත්තේ අභයගිරි විහාරයේ මහසෙන් මාළිගය නමින් වරදවා හඳුන්වනු ලබන පංචාවාසයක මැද ප්‍රාසාදයේ දොරටුවෙහිය. පිට ගැටියේ සිට මැද දක්වා එහි ඇති කැටයම් මෝස්තර පිළිවෙලින් ගිනිදැල්, සිව්පා පන්තිය, ලොකු ලිය වැල, හංස පන්තිය, කුඩා ලියවැල හා මැද විවෘත පද්මයයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ගිනි දැල්වලින් ලෝකය ගිනි ගත්තක් බවත්, සිව්පා පන්තියෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ යන දුක් සතරත්, ලොකු ලිය වැලෙන් තණ්හාවත්, හංස පන්තියෙන් හොද නරක බේරා ගැනිමට හැකි අවස්ථාවත් කුඩා ලිය වැලෙන් දෙව් ලොවත් මැද පද්මයෙන් නිවනත් අදහස් වන බව කියයි. ඩී.ටී. දේවේන්ද්‍ර මහතා ඒ මෝස්තර සඳකඩපහණ සැරසිමට යොදා ගත් සංකේත සේ සළකයි. ගොඩනැගිලි දොරටුවලට වැඩි අලංකාරයක් ගෙන දිම එහි අරමුණ බව ඔහු කියයි. මහාචාර්ය විනි විතාරණ මහතා ඒ මෝස්තර සඳකඩපහණේ ඇති සංකේත පැරණියන් අතර පැවැති ඉර හඳ ඇදහිමට හා සශ්‍රීකත්වය පිලිබඳ ඇදහිමට සම්බන්ධ බවත් එම සංකේත දැක ස්පර්ශ කිරිමෙන් කෙනෙකුට සිය අභිප්‍රායයන් ඉටුකර ගැනිමට බලයක් ලැබෙන බවත් කියයි. සඳකඩපහණත් එහි සංකේතත් ඒ හා සමග ඇති මුරගල් කොරවක් ගල් වල සංකේතත් සුභ වස්තු හෙවත් මංගල සම්මත වස්තු ලෙස ද සැළකිය හැකිය. ඒවා දැක ස්පර්ශ කරන අයට දිව්‍යමය බලයක් ලැබී තම බලාපොරෝත්තු සඵල කරගන්නට හැකියාව ලැබෙන බවට විශ්වාසයක් පැවැතියේ යයි සිතිමට ද පුළුවන. මහාචාර්ය පරණවිතාන මහතාගේ අර්ථකථනය සියළුම සඳකඩපහන්වලට පොදු වුවක් නොවේ. එය අදාළ වන්නේ සඳකඩපහන් හයකට පමණ සුළු සංඛ්‍යාවකට ය. එම අර්ථකථනය භාර ගත නොහැකි විමට තවත් කරුණක් තිබේ. සඳකඩපහණ මැද ඇති අර්ධ විවෘත පද්මය නිවන සංකේතවත් කරන වස්තුවක් පෑගෙන තැනක තිබීම කිසිසේත් බලාපොරොත්තු විය හැක්කක් නොවේ...
 













උපුටා ගැනීම  http://www.sridaladamaligawa.lk/si/%E0%B7%83%E0%B6%B3%E0%B6%9A%E0%B6%A9-%E0%B6%B4%E0%B7%84%E0%B6%B1

Wednesday, March 25, 2015

ඉසුරුමුණිය

Image result for ඉසුරුමුනිය
ශ්‍රේෂ්ඨ ජාතිකයක පෞඩත්වය කියාපාන ඓතිහාසික සංසිද්ධීන්ගෙන් අපි ඕනෑවටත් වඩා පොහොසත් ය. තවද වරෙක සුඛාන්තයකින් ද තවත් වරෙක දුඛාන්තයකින් ද කෙළවර වන සුප්‍රසිද්ධ ප්‍රේම වෘත්තාන්තයන්ගෙන් ද ලබන ඉතිහාසයේ වියමන ඔපවත් ය. මේ හේතුපාඨ සියල්ලට ම වස්තු විෂය වූ ඒ මනරමණීය ඉසව්ව සොයා අපේ ගමන අපි ඉක්මන් කෙළෙමු.
හාත්පස කිරිවැදුණු ගොයම මද නළින් තාලයට නැළවෙන්නේ ඉතිහාසයේ පෙම් කවකට තනු පබදින්නා යේ ය. වෙල්යායේ ඉස්මත්තේ ප්‍රතාපවත් ජල කඳක් දරා සිටින නිසා වැව් කොමළිය සැඬොල් දුවක කෙරෙහි රාජ ලේ ඇති පුතකුගේ පපු කුහරය තුළ අකීකරු පෙමක් පහළ කරවන්නට නිමිති දුන් අයුරු සිහිගන්වයි. මේ සියල්ල අතරේ ලෞකික රසෝඝයන් හමුවේ අකම්පිතව බලා සිටින බුදු රුව අපි අභිමුවේ වැඩ හිඳියි. මේ නම් අනුරාධපුර ශුද්ධ භූමියේ රමණීය පින් බිම ඉසුරුමුණියයි.
ලාංකේය වංශකතාවේ ආර්ථික, සමාජයීය සහ ආගමික යන සියලු ප්‍රස්තුතයන්ට සාධාරණය ඉටුකළ අසිරිමත් ඉසුරුමුණිය බුදුන්ගේ පාද ස්පර්ෂය ලද අනුරාධපුර පින්බිම වැඳ පුදා ගැනීමට පැමිණෙන්නන්ගේ මනදොළ සපුරන රමණීය තෝතැන්නකි. එමෙන් ම අපේ රාජාවලිය හා බැදුණු නොමැකෙන සටහන්ගෙන් විරල නොවූ ඉසුරුමුණි පෙදෙස සිහි ගන්වන්නේ කලබලකාරී බවින් ඔබ්බට ගිය පාරිසරික සංහිදියාවයි.
ලංකා ඉතිහාසයේ ඉදි කළ ප්‍රථම විහාරස්ථානය ලෙස සැළකෙන්නේ ඉසුරුමුණියයි. මහා වංශයේ දිග හැරුමට අනුව එය දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකිරීමට හේතු භූත වූයේ මිහිඳු මහ රහත්න් වහන්සේ අනුව යමින් ඉසුරුමත් ලක් පුතුන් පන්සියයක් පැවිදි වීමත් උන්වහන්සේලාට භාවනා යෝගීව වැඩ සිටීමටත් බවයි. ඉන් පසුකාලීනව වසභ රජතුමා එහි පොහොය ගෙයක් ද තුන්වන සියවසේ දී වෝහාරික තිස්ස රජතුමා ඉසුරුමුණිය වටා පවුරක් ද කර වූ බැව් ඉතිහාසය කියා පායි.
අපේ රාජාවලියේ පීතෘ ඝාතකයකුව ආනන්තරීය පාපකර්මය සිදුකරගත්තා වූ මහා කාශ්‍යපයන් ගේ නම ද මේ බිම ඈඳෙයි. එනම් පස්වැනි සියවසේ දී සීගිරි කාශ්‍යපයෝ තමා කළ පව් ගෙවන්නට සිතා ඉසුරුමුණිය විහාර භූමියේ මළුව විශාල කොට අවට බත බුලතින් සශ්‍රික ගම් නින්දගම් කොට විහාරයට පූජා කොට ඉසුරුමුණිය විහාරාමය බුදුසසුනට පිදූහ.
ගිහිගෙය හැර පියා ආ ඉසුරුමත් පුරුෂයින්ට නිවනට නිරාමිස බිමක් වූ ඉසුරුමුණිය නම් පෙර කී පරිදි ම සොබාදම් රසවාහිනියේ අනුවර්තම ඉසව්වකි. මහා පවුරක් සේ ඉසැවී ගත් වැව් බැම්මකට මුවා වී සිටින නිසා වැවත් රාජකීය මඟුල් උයන හෙවත් රන්මසු උයනත් රහතුන් වැඩහිඳි වෙස්සගිරියත් වෙනස් වූ පරිසර පද්ධති වනමුත් එකිනෙකට පෑහි සිටින අන්දම නම් අපූරුම ය. හාත්පස ලා නිල්ලට දිස්වන සරුබර ඉසුරුමුණිය ඓතිහාසික වෙල්යාය අපට කියා පාන්නේ ලක් දෙරණ නම් වූ එදා යස ඉසුරින් පිරි ධාන්‍යාගාරයයි.
ඉසුරුමුණිය විහාර භූමිය සොබාදහමේ නිපැයුමකට නව ආකෘතියක් එක් කිරීමක් බඳු ය. මහපොළොව පලා මතු වුණු ශෛලමය පව්වක් ආධාර කරගෙන තැනූ ඉපැරැණි බුදුගෙය ඉසුරුමුනිය ප්‍රධාන දොරටුවට ළංවන්නකුට නෙත ගැටෙන ප්‍රධාන රූප රාමුවයි. පසෙකින් වූ ගල් පොකුණත්, ඒ ආසන්නයේ වූ අෂ්ඨ ඵල බෝධියත් ඉපැරැණි විහාරාරාම ආකෘතියට සහසම්බන්ධ ය.
හෙළයේ මහා කලාකරුවන්ගේ සළකුණ සොයා යන්නකුට ඉසුරුමුණිය අසිරිමත් තෝතැන්නකි. ප්‍රබුද්ධ ඉතිහාසඥයන් අතර පවා ආන්දෝලනාත්මක විචාරයන්ට බඳුන් වූ හෙළ කලාකරුවන් ගේ බුද්ධියත් විඥාානයත් එක් තැන් වූ අග්‍රඵලයන් ය. ඉසුරුමුණි කැටයම් අතර මිනිසා සහ අශ්ව හිසත්, දියකෙළිනා හස්තීන්ගේ කැටයම් දෙකත් පිළිබඳ බොහෝ මත පළ වෙයි. මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් ගේ අදහසකට අනුව මෙහි ‘පර්ජන්‍ය” සහ “අග්නි” සංකේතවත් කරයි. එමෙන් ම වර්ෂාව පැමිණීමෙන් ප්‍රීති ප්‍රබෝදයට පත් හස්තීන් ගල් පොකුණ අසළ ඇත්රූප කුළු ගන්වන බැව් පරණවිතානයෝ පවසති.
ඉසුරුමුණියේ දී අපට හමුවන ලෝකප්‍රකට කලාකෘතිය නම් ඉසුරුමුණි පෙම් යුවළයි. ලංකා ඉතිහාසයේ ඇති රමණීය ප්‍රේම ජවනිකාවක් දිග හරින්නා වූ සාලිය අශෝකමාලා යුවළ මෙම ශෛලමය කලා කෘතියෙන් විද්‍යාමාන වන බැව් විද්වතුන්ගේ පිළිගැනීමයි.
සාලිය අශෝකමාලා ප්‍රේම සුඛාන්තය නම් මනෝරම්‍ය චිත්තරූපයන් රසිකයන් තුළ නිම වන්නට විෂය භූත වූ කතාවකි. මේ නිසා ලේඛනයේ නියැළුණු සාහිත්‍යකරුවෝ මනා කොට ඔපමට්ටම්ව මේ කතා පුවත ගෙනහැර දැක්වූහ. අශෝකමාලා නම් වූ රූප සුන්දරියගේ ගතවණන්නට ධර්මකීර්ති සංඝරාජ හිමියෝ සද්ධර්මාලංකාරයෙන් ගත් වචන හරඹය සේම ගල්වඩුවා කුල ගොත් පරදා සිත් දෙකක් යා කළ මේ ප්‍රේම පුරාණයේ දෘඨ බන්දනය ශෛලමය පිළිරුවකට එක් කළේ හරි අපූරුවටය.
ඉසුරුමුණිය නම් අන් තැනක් නොව සාලිය අශෝකමාලා දෙසිත යා කළ මනෝ රමණීය භූමියයි. එදා මඟුල් උයනින් මැවුණු නොඉඳුල් පරිසරයේ ශෘංගාරාත්මක රිද්මය අද මදකට වෙනස් වන නමුදුු පෙම්වතුන්ටම මිහිකතා මවාදුන් නිසොල්මන් පරිසරය අද ද එහි යන එන්නකුට සුන්දර හැඟීම් දනවයි.

Monday, March 23, 2015

මිරිසවැටිය

ශ්‍රේෂ්ඨ නරපති දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද්දකි මිරිසවැටිය. මෙය තිසා වැව හා බසවක්කුලම වැව (අභය වැව) අතර පිහිටා ඇත. මෙය ඉදිකිරීමට හේතු වූ කාරනය ද අපුරු එකකි. රජතුමා තිසා වැවට දිය නෑමට ගියේ ජය කුන්තය යම් තැනක සිටුවාය. මහත් පුදුමයට මෙන් ආපසු ආ රජුට සර්වඥ ධාතු සහිත ජය කුන්තය සෙලවීමට පවා නොහැකි විය. මේ අසිරිමත් සිදුවීම හේතුවෙන් බැති සිත් වැඩූ රජු එය වට කොට ස්ථූපයක් ගොඩනංවා ඒ වටා ආරාමයක්ද කරවීය. රජු භික්ෂුන්ට පුජා නොකොට කිසිවක් ආහාරයට ගෙන නැත. එසේ වුව අතපසුවීමකින් මිරිස් මාළුවක් ජුජා කිරීමට නොහැකි විය. තමා මිරිසවැටිය ගොඩනැගුවේ එම වරද නිවැරදි කර ගැනීමට යයි රජු පසුව පවසා ඇතැයි මහාවංශය කියයි. මෙම දා‍ගැබ ප්‍රතිසංස්කරණයෙහි ලා දායක වූ රජවරුන් අතර පළමුවෙනි ගජබාහු, වෝහාරික තිස්ස, පස්වන කාශ්‍යප, පළමුවෙනි පරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල යන රජවරුන් මුල් තැනෙහිලා සැළකිය හැකිය. එකල මිරිසවැටිය අඩි 200 ක් උසට තනා තිබුණ ද අනුරාධපුරය ජන ශුන්‍යව පැවැති ශත වර්ෂ 07 ක පමණ කාලයේ දී මෙම දාගැබට අත් වූයේ ද අනෙක් ඒවාට අත් වූ ඉරණමය. කෙසේ වුව භික්ෂුන් වහන්සේලාට දන් පිරිනැමීම සඳහා භාවිතා කළ ගල් ඔරුවක් ද, බෝධීඝරයක් හා පටිමාඝරයක නටබුන් ද අද වන තුරු ශේෂ වී තිබීම භාග්‍යයකි. වර්තමානයේ දි චෛත්‍යය නැවත සාදන ලද්දේ පැරණි ආකෘතිය වටකරමිනි. එසේ වුව 1987 වර්ෂයේ දි එය සම්පූර්ණයෙන් ම කඩා හැළුණි. එයින් සිදු වූයේ වාහල්කඩ සියල්ල විනාශ වී යාමය. වර්තමාන දාගැබෙහි උස අඩි 192 කි. රාජානුග්‍රහය දුටුගැමුණු රජු එළාර සමග යුද්ධයෙන් ජය ගෙන අභිෂේකය පවත්වා හත්වෙනි දින තිසා වැවේ ජලක්‍රීඩාවට ගියේය. ඒ අවස්ථාවේ දී ඔහුගේ සධාතුක ජය කොන්තය දැනට මිරිසවැටි ස්ථූපය තිබෙන තැන තබා තිබුණි. ජල ක්‍රීඩාවෙන් පසු සවස ආපසු යාමට සැරසී ජය කොන්තය ගැනීමට ගිය විට එය එතැනින් සෙලවීමට නොහැකි විය. එය තැන්පත් කොට ඔහු එහි මිරිසවැටි ස්ථූපය තිබෙන තැන තනා තිබුණි. සංඝයාට කොටසක් පුජා නොකොට තමන් අනුභව කළ මිරිස් මාළුවක් හෝ සම්බලයක් ගැන සිහිපත් කළ රජු එයට දඩුවමක් වශයෙන් මේ ස්ථූපය කළ බව මහාවංශය කියයි. මිරිසවැටි යන නම ස්ථූපයට ලැබුණේ මේ නිසා යයි කියනු ලැබේ. රජු ස්තුපය තනා ඊට පසු මිරිසවැටි විහාරය හෙවත් සංඝාරාමය ද කරවීය. ඒ සඳහා අවුරුදු 03 ක් ගතවිය. අවසානයේ දී පවත්වන ලද උත්සවයට භික්ෂුන් වහන්සේලා ලක්ෂයක් ද භික්ෂුණින් වහන්සේලා අනුදාහක්ද සහභාගී වූහ. එම රැස්වීමේ දි රජු තමන් සංඝයා අමතක වීමෙන් ගත් මිරිස් මාළුව හෝ සම්බලය වෙනුවෙන් මෙම ස්ථූපය හා විහාරය තනා සංඝයාට පුදන බව කීය. රජු පසුව අතපැන් වත් ‍කොට විහාරය සංඝයාට පිදුවේය. බටහිර වාහල්කඩේ උස කුළුණුවල මුදුනේ ඡත්‍රය යට තිබෙන පුජනීය වස්තුව හා උපකරණය සධාතුක ජය කොන්තය විය යුතුයි. දුටුගැමුණු යුද්ධයේ දී මෙම ජය කොන්තය භාවිතා ‍කෙළේ දිනපතා බුදුන් වැඳිම නොකඩවා කරගෙන යාමටය. ධාතු නිධාන‍‍යේ දී බොහෝ අගනා වස්තු ධාතුගර්භයෙහි තැන්පත් කළ බව වාර්තා වෙයි. ස්ථූපයේ මුලින් තිබුණ උස ගැන මහාවංසයේ සඳහන් නොවේ. පසුව එය රියන් 80 (අඩි 160 ක්) උසට ප්‍රතිසංස්කරණය කරන ලදී. 1 වෙනි ගජබාහු රජු ස්ථූපයට කංචුකයක් කරවීය. වෝහාරික තිස්ස රජු ඡත්‍රය ප්‍රතිසංස්කරණය කොට පවුර කරවිය. පස්වෙනි කස්සප රජු ස්ථූපය හා විහාරයේ සියළු ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරවිය. පළමුවෙනි පරාක්‍රමබාහු රජු ස්ථුපය රියන් 80 ක් උසට කරවීය. නිශ්ශංකමල්ල රජු මිරිසවැටියේ සංරක්ෂණ වැඩ කළ බව වාර්තා වෙයි. වාහල්කඩ මිරිසවැටි දාගැබ හතරපැත්තේ වාහල්කඩ සතරක් විය. තරමක් හොඳ තත්වයක පැවතුනේ බටහිර වාහල්කඩ පමණි. ඉදිරියට පන්නා තනන ලද විශාල කොටසකින් හා දෙපස පස්සට පන්නා තනන ලද පටු කොටස් දෙකකින් යුත් වාහල්කඩ දෙපස කොට කුළුනු දෙකක් ද ඊළඟට ඇතුළතින් උස කුළුණු දෙකක් ද වෙයි. කොටු කුළුණුවල ඉදිරිපස මුදුනේ අඩකව දෙකක් හා ඒ අතර රේඛා දක්වා තිබේ. ඊට යටින් පතුල දක්වා සිරස් තීරූ දැක්වේ. ඊළඟට ඇති උස් කුළුණේ වාමනයකු හිසමත තබා ගත් කලසකින් ඉහළට නැගෙන කල්පවෘක්ෂයක් හා එය මුදුනේ ඡත්‍රය යට මල් දම් වලින් පුදන ජය කොන්තය වෙයි. කුළුණ මුදුනේ සිංහ රූපය වෙයි. බටහිර වාහල්කඩේ මෙම කුළුණ උතුරුවාහල්කඩෙන් ගෙන තිබේ. නැතහොත් සිංහ රූප ගෙන ඇත්තේ උතුරු වාහල්කඩෙනි. බටහිර වාහල්කඩට අයත් සිව්පාවා අශ්වයා ය. යට සිට ඉහළට ඇති කැටයම් මෝස්තර හා බොරදම් මෙසේය - යටින්ම බොරදම් වෙයි. ඊට උඩින් හිස් ප්‍රදේශයකි. ඊළඟට ලීස්තර බොරදම් ද ඊට උඩින් ඇත් හිස් හා පද්ම සැරසිල්ලක් ද වෙයි. ඊට ඉහළින් ලීස්තර බොරදම් වෙයි. නැවත හිස් ප්‍රදේශයකට පසුව පියුම් පෙති මෝස්තරය සහිත බොර‍දමකි. එයට ඉහළින් හිස් තීරුවකි. අනතුරුව මකර මුඛ හා පද්ම සැරසිල්ල වේ. යළිත් ලීස්තරවලට උඩින් හිස් තීරයකි. එයට ඉහළින් කවාට මෝස්තරය සහිත ලීස්තර බොරදමකි. අනතුරුව යළිත් හිස් තිරුවක් ද ඊට ඉහළින් උඩ හා යට ලීස්තර බොරදම් මැද සිව්පාව්න් ගෙනයන මිනිසුන් සතර දෙනෙකි. ඊට ඉහළින් යළිත් ලීස්තර බොරදම් ද අනතුරුව ඊට යාබදව බෞද්ධ ගරාදි වැට මෝස්තරය ද වෙයි. මෙයින් ඉහළ ගඩොලින් කළ කොටසක අවශේෂ වෙයි. එහි මුලින් පැවති කැටයම් හා චිත්‍ර කිසිවක් වාර්තා නොවෙයි. සාමාන්‍යයෙන් වාහල්කඩවල කැටයම් රහිත හිස් තීරූවල චිත්‍ර තිබුණි. වාහල්කඩ පිටුපස හා කොන්වල හංස රූප පෙළක් විය. සිවුපා පන්තියේ ඇතා, අශ්වයා, ගවයා සහ සිංහයා වේ. ඔවුන් එක් අතකට ගමන් කරන විලාශයෙන් කැටයම් කර තිබේ.


උපුටා ගැනීම http://www.paramparikadenuma.lk

Sunday, March 22, 2015

ජේතවනාරාමය

Image result for ජේතවනාරාමය
ශ්‍රි ලංකාවේ විශාලතම ස්තුපය ජේතවනාරාමය වන අතර එය තැනිමේ ගෞරවය හිමිවන රජු වශයෙන් මහසෙන් රජු හැදින්විය හැකිය. අනුරාධපුර ජෝති වනයෙහි මහාවිහාර සිමාව තුළ කරවු ජේතවනාරාමය රජුගේ ප්‍රසාදය දිනාගෙන සිටි දක්ඛිණ විහාර වාසි තිස්ස නැමැති හිමි නමකට පුදනලද බව සදහන් වෙයි. එතැන් පටන් ජේතවනාරාමය 12 සියවස දක්වා සාගලික නිකායේ මුලස්ථානය විය. මෙම ස්තුපය බටහිර පැත්තෙන් හාල්පන් ඇලත් නැගෙනහිරින් මල්වතු ඔයත් උතුරින් ඇතුල් නුවරත් දකුණින් අනුරාධපුර දුම්රිය පලත් මායිම්ව පිහිටා ඇත. ජේතවනය පිහිටි බිම මුලින් නන්දන වනයට අයත් කොටසකි. මිහිදු හිමියෝ දිගටම දින හතක් මෙහි සිට ධර්ම දේශනා කර මිනිසුන් හත් දහසකට ධර්මාභිසමය හෙවත් ධර්මාවබෝධය ලබා දුන්හ. ඒ නිමිති කර ගෙන නන්දන වනය ජෝති වනය ලෙස හදුන්වන ලදි. දැනට ජේතවන ස්ථුපය පිහිටි ස්ථානයේ මිහිදු හිමි ප්‍රධාන ධර්ම දුතයන්ගේ මෘත දේහයන් ආදාහනය කරන ලද බැවින් ඉසිභුමංගන යනුවෙන් එය ප්‍රසිද්ද විය. දැනට ලැබි ඇති පුරාවිද්‍යාත්මක සාධක වලින් ද මෙහි ආදාහන කටයුතු කර තිබෙන බව පෙනේ. ජේතවන ස්තුපය අවට නටබුන් ජේතවනාරාමයට අයත්ය. සංගාරාමයකට අවශ්‍ය සෑම වර්ගයකම පාහේ ගොඩනැගිලි ඒ අතර වෙයි. ඒ සියල්ල මහාසේන රජු විසින් කරවන ලද්දේයයි කිව නොහැකිය. බොහෝමයක් ගොඩනැගිලි මහාසේනගේ පුත් කිත්සිරිමෙවන් හා ඔහුට පසුව සිටි රජුන් විසින් කරවන ලදි.
    • ජේතවන ස්තුපය

බුදුන් වහන්සේගේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිදන් කර ඇති බව සද්ධර්මරත්නාකරය සදහන් කරයි. ඒ කාලයේදී ජේතවනාරාමය දාගැබේ උස අඩි 400 කි. එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ලයි. පුරාණ ලෝකයේ ‘ගීසා’ හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීමයි. මෙම ථූපය සාගලික නිකායට අයත් විය. ද්‍රගැබ අක්කර 8 ක ප්‍රදේශයක විහිදි ඇත. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුල්වීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි කිරිම නිසා කිසිදු ගිලා බැසිමක් හෝ ඉරිතැලිමක් දක්නට නැ. මේ දාගැබ පමණක් නොව අනුරාධපුරයේ ඇති අනෙකුත් විශාල දාගැබ් ද සාදා ඇත්තේ එසේය. මෙම දාගැබ සෑදීම සඳහා ඒ වන විට එනම් ක්‍රිස්තු වර්ෂ හතර වන සියවස වන විට අපේ රටේ සිංහල වාස්තු විද්‍යාඥයින්ට සිංහල ඉන්ජිනේරුවන්ට තිබූ දක්ෂතාවය කොපමණද යන්න ඔබට ද අවබෝධ වනු ඇත. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.
ක්‍රි.ව. 7 වෙනි සියවස පමණ වනතුරු මෙම ස්තුපයේ උපරි භාගයේ හතරැස් කොටුව (වැට) හා ඒ මැද ගර්භය මුදුනේ ඡත්‍රය විය. පසු කාලයේදි ඒ හතරැස් කොටුව ඝනයක් බවට පත්කර එහි දේවතා කොටුව, කොත් කැරැල්ල හා කොත තනන ලදි. මෙහිදි අභයගිරි ස්තුපයේ මෙන් යුපයක් වු බවට සාධක නැති බැවින් මේ ස්ථුපය මහාවිහාර ස්තුප සැලැස්මට අනුව නිර්මාණය කර තිබේ. ස්තුපය සතර පැත්තේ වාහල්කඩ සතරක නටබුන් වෙයි. ඒවායේ කැටයම් හා චිත්‍ර වු බවට සාධක ඇත. පොලොවට වඩා උස මඑවක ස්තුපය තනා එහි ගල් අතුරා ඇත. මඑව වටා ඇත් පවුරක් තිබු බවට කැණිම්වලින් පාදා ගෙන ඇත. මෙයට පහතින් වැලිමඑවද එය වටා ප්‍රාකාරයක්ද, ප්‍රාකාරය සතර පැත්තේ ගෝපුර හතරක්ද ඇත. සලපතල මඑවට පිවිසෙන දොරටුද එම ගෝපුරවලට සමාන්තරව තනා ඇත.
    • පටිමාඝරය

ජේතවනාරාමයේ ප්‍රධාන පටිමාඝරය ස්තුපය මුහුණලා එයට බටහිරින් පිහිටා තිබේ. අති විශාල හිටි බුදුපිළිමයක ආසනයේ කොටසක් හා එයට යටින් වු ගර්භ පත්‍රයය දැනට දක්නට ඇත. ගර්භ ඝර්භපාත්‍රයේ ගර්භ 25 ක් පමණ ඇති අතර එහි විශාලත්වය අනුව පිළිමය ඉතා විශාල බව තිරණය කළ හැකිය. මේතරම් විශාල ගර්භ පාත්‍රයක් වෙනත් තැනකින් හමුවි නැත. පිළිමගෙයි දොරටුවේ ගල් උඑවහු අඩි 27 ක් උසය‍. පිළිම ගෙය වටා පරිවාර ගොඩනැගිලි කිහිපයක නටබුන්ද වෙයි.
    • බෝධිඝරය

අටවෙනි සියවසට කලින් කරවන ලද ස්තුපයට දකුණු පස පරණ නගරසභා කාර්යාල ගොඩනැගිල්ලට ආසන්නව ඇති දිග හතරැස් ගල් ගරාදි වැට සහිත ගොඩනැගිල්ල ජේතවනාරාමයේ බෝධිඝරය ලෙස හදුන්වයි. දෙවැනි දත්පුල රජු විසින් අටවෙනි සියවසේදි මෙහි රන් පිළිමයක් තැන්පත් කරවු බව වාර්තා වේ. මෙහි දොරටුවේ කල්ප වාක්ෂ සහිත කුඑණු වෙයි. බෞද්ධ ගරාදි වැට නමින් ප්‍රසිද්ධ ගරාදි වැට ක්‍රමය මෙහිද අනුගමනය කර ඇත. බෝධිඝරය තිබුනේ එම ගරාදි වැට ඇතුළේය. බෝධිඝරයට යාබදව උතුරින් හිටි පිළිමයක ආසනයක් වෙයි. එහි තිබෙන ලක්ෂණ අනුව එම පිළිමය අභිෂේකය සදහා යොදා ගන්නා ලද්දක් බව පෙනේ. ඒ අනුව ජේතනවාරාමයෙහි ද බුද්ධාභිෂේකය පැවැති බව ඔප්පු වෙයි.
    • උපොසථාගාරය

බෝදිඝරයට තරමක් දුරින් නැගෙනහිර පැත්තේ ස්තුපයට දකුණින් ඇති ගල් කණු විශාල ප්‍රමාණයක් සහිත ගොඩනැගිල්ල ජේතවනාරාමයේ උපෝසථනාගාරය වන අතර එහි සැලැස්ම අභයගිරි විහාරයේ රත්නප්‍රාසාදයේ සැලැස්මට සමානය. එහෙත් ගොඩනැගිල්ලේ ප්‍රමාණය අතින් දෙවැන්න පළමු වැන්නට වඩා බෙහෙවින් කුඩාය. මෙය සිව් වෙනි මිහිදු රජු කරවු දියසෙන් නම් උපෝසථාගාරය විය යුතුය.
    • දාන ශාලාව

ජේතවනාරාමයේ දාන ශාලාව ස්තුපයට නැගෙනහිර පැත්තේ පාරට ආසන්නව පිහිටා තිබේ. ප්‍රමාණයෙන් එය අභයගිරි විහාරයේ දාන ශාලාවට වඩා කුඩාය. මෙහි සැලැස්මද සෑහෙන තරම් දුරට වෙනස්ය.
    • පංචාවාස

ජේතවනාරාමයේ භික්ෂුන්ගේ ආවාස තනා ඇත්තේ පංචාවාස සහිතවය. ස්තුපය අවට ප්‍රදේශයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ එවැනි පංචාවාස සහිත සංඝාරාමයි. මේවායේ හා පුජනිය ගොඩනැගිලිවල දොරටු අලංකාර ලෙස තනා තිබේ. විවිධ සදකඩ පහන්, කොරවක් ගල්, මුරගල් හා පියගැට ඒවායේ දක්නට ලැබේ.

  උපුටා ගැනීම
https://proudofkandy.wordpress.com/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA/%E0%B6%A2%E0%B7%9A%E0%B6%AD%E0%B7%80%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA/

Thursday, March 19, 2015

අභයගිරි විහාරය

භයගිරි විහාරය ක්‍රි.පු පළමු සියවසේදී ලක්දිව වළගම්බා රජු විසින් කරවු විහාරයකි. ක්‍රි.ව. එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණි. විවිධ උසස් කලා ශිල්ප දක්නට ලැ‍බෙන ඉතා අලංකාර විහාරයක් ලෙස අභයගිරි විහාරය දැක්විය හැකි අතර ලංකාවේ ඇති වු දෙවැනි බෞද්ධ නිකාය වේ.

මෙය පැරණි ඉන්දියාවේ පැවති නාලන්දා, ජගද්දලා, වික්‍රමශිලා වැනි බෞද්ධ ආරම්භක විශ්ව විද්‍යාල ගණයට ඇතුල් කළ හැකිය. ගුණවර්මන් නැමති කාශ්මීර රජතුමාද, පාහියන් වැනි චීන ජාතික භික්ෂුන්ද ඇතුලු විදේශිය පිරිස් ආගමික අධ්‍යාපනය සඳහා මෙහි පැමිණියහ. මහා විහාරය ථෙරවාදයට පමණක් සිමා වී සිටියදී අභයගිරිය එවකට පැවති හීනයානා හා විවිධ මහායානා දර්ශනයන් අධ්‍යයනයට හා ඒවා ප්‍රකාශයට ඉඩ ලබා දී ඇත. සතර මුලයකින් වට වු අභයගිරි විහාරයේ රත්න ප්‍රසාදය දිව්‍ය විමානයක් බඳු වු බව පස්වන කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපියේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ සුවි‍ශේෂි කලා නිර්මාණ අතර‍ ප්‍රමුඛස්ථානයක් ගන්නා මුරගල, සඳකඩපහණ, කුට්ටම් පොකුණ, සමාධි බුදු පිළිමය ආදිය පිහිටා ඇත්තේද අභයගිරියේය.

ආරම්භය

ද්‍රවිඩ ආක්‍රමණ නිසා වළගම්භා රජු පලා යන විට අභයගිරිය පිහිටි ස්ථානයේ සිටි ගිරි නම් නිගණ්ඨයා මහාකළු සිංහලයා පලා යයි යනුවෙන් අපහාස කළ බවත්, නැවත රාජ්‍ය ලබා ගත් විට රජතුමා නිගණ්ඨ දේවාලය කඩා දමා අභයගිරිය සාදා තමාට බැරි කාලයේදි උපකාර වු කුපික්කල මහාතිස්ස හිමියන්ට පුජා කළබවත් තමාගේත් නිගණ්ඨයාගේත් නම් එක් කොට එය අභයගිරි විහාර‍ය යනුවෙන් නම් කළ බවත් මහා වංශයේ සඳහන් වේ. පුරාණයේ උස් බිම් හා පර්වත ආශ්‍රිතව ඉදි කළ විහාරගිරි යන්නෙන් අවසන් කර ඇත. මේඝගිරි, චේතියගිරි, මුහුන්දගිරි, වෙස්සගිරි ආදියේත් ගිරි නිගණ්ඨයන් නොසිටි හෙයින් අභයගිරි යනු අභය රජතුමා උස් බිමක සෑදු විහාරය නිසා නම් වු බව පෙනේ. පස්වැනි සියවස වන විට මෙහි භික්ෂුන් 5000 ක් වැඩසිටි බව අභයගිරි විහාරයේ වැඩසිටි චීන ජාතික පාහියන් හිමියන් සඳහන් කරයි. එසේම හතරවැනි සියවසේදි කිත්සිරිමෙවන් රජ දවස මෙරට ගෙන ආ දළදා වහන්සේගේ භාරකරත්වය හිමි වුයේද අභයගිරියේ පැරණිතම භික්ෂූ කණ්ඩායම වු උත්තර මුලය‍ටයි. අනුරාධපුර යුගයේදි දළදා පෙරහැර පැවතුනේද ඇතුළු නුවර සිට අභයගිරියටයි. ලංකාරාමය මෙහි භික්ෂුණි ආරාමයක් විය. වයඹදිග ප්‍රදේශයේ තපෝවනයක් ද විය. 1017 සොළි ආක්‍රමණ නිසා අඩපණ වු අභයගිරිය 1215 මාඝගේ ආක්‍රමණය නිසා වල්වැදි ගියේය.


වන්දනීය ස්ථාන

අභයගිරි දාගැබ

අභයගිරි ස්තූපය
මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්භා රජතුමා විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.411-113 පාහියන් හිමියෝ පවසති.පසු කාලීන ග්‍රන්තයක් වන සද්ධර්මරත්නාකරයහි සඳහන් වන පරිදි මෙහි සර්වඥධාතු තැන්පත් කළ වෘෂභ‍යෙකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිදන් කර ඇත.

අභයගිරියේ කුඩා දාගැබ්

අභයගිරි භූමියේ තවත් ස්තූප කීපයක් දක්නට ඇත.ජනවහරේ ඉඳිනටු සෑය නමින් හැඳින්වෙන ප්‍රාසාද ස්තූපය කුඩා ගල්පර්වතයක් මැදි කොට ඉදිකරන ලද්දකි.මෙය පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය නම් සතූපය හා සමානය.ඇත්පොකුණට බටහිරින් වේදිකාවක් මත තවත් ස්තූපයක් හමු වී ඇත.ඒ හැර තවත් කුඩා ස්තූප දෙකක නටඹුන් හමු වී ති‍බේ.

බෝධි ඝරය සහ සමාධි බුදු පිළිමය

සමාධි බුදු පිළිමය
මෙය පිහිටා ඇත්තේද අභයගිරි විහාරයේ පැරණි බෝධිඝරයකයි.ගුප්ත ශෛලියට නිමවා ඇති මෙහි පාද වීරාසන ඉරියව්වෙන්ද දෑත් සමාධි මුද්‍රාවෙන්ද දක්නට ඇත.පිළිමයට පිටුපසින් බෝරුක පිහිටි ආවාටය දක්න‍ට ලැබේ.මෙය ක්‍රි.ව.3-4 කාලයට අයත් වේ.පුරාණයේ මෙය වර්ණ ගන්වා තිබු බවට සළකුණු තවමත් දක්නට ඇත.නේත්‍ර කුහර වල වටිනා ගල් අල්ලා තිබුණි.

භික්‍ෂුන් පරිහරනය කල ස්ථාන

රත්න ප්‍රසාදය

මෙය අභයගිරි විහාරයේ පොහොය ගෙයයි.මෙහි වීදුරු වර්ණ ආලේපිත උළු සෙවිලි කර ඇත.මෙය පස් මහල් ප්‍රාසාදයක් වේ.දැනට දක්නට ලැබෙන නටබුන් ක්‍රි.ව.7-8 සියවසට අයත් යැයි සැළකේ. ලංකාවේ දක්න‍ට ලැබෙන කලාත්මක මුරගල රත්න ප්‍රාසාදය අසල දක්නට ලැබේ.මෙ‍ම මුරගල මුදුනේ මකර තොරණක් ද මකරාගේ මුවින් පිටවන ස්ත්‍රි පුරුෂ යුවලක් ද වේ.එ‍යින් ලෞකික සැපය විනාශයට හේතු වන බව එක් අදහසකි.

ඇත් පොකුණ

භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතා සඳහා මෙම පොකුණ ඉදිකර ඇත.දිග පළල දළ වශයෙන් මීටර් 160*35 කි.ක්‍රි.ව.3-4 සියවස් වලට අයත් වේ.වර්තමානයේ ඇත්පොකුණ නමින් හැඳින් වුවත් බෝධිවංස ගැටපදය අනුව එය හැඳින් වු පැරණි නාමය මාස්පොත පොකුණ විය.ඉහළින් ඇති පෙරමියන් කුලම වැවෙන් හෝ බුන්කුලම වැවෙන් ජලය ගෙන ආ උමං ජලමාර්ග දෙකක් උතුරු පැත්තෙන් ඇත.දකුණු පැත්තෙන්ද මෙයට ජලය ගෙන ආ උමං මාර්ග දක්නට ඇත.

කුට්ටම් පොකුණ

කුට්ට්ම්පොකුණ
යුගලයක් වශයෙන් පොකුණු දෙකක් ඇති හෙයින් කුට්ටම් පොකුණ නම් වේ.අභයගිරි විහාරයේ වු මුල හතරින් කපාරාමුලයේ භින්ෂුන්ගේ ජල පහසුව සඳහා කරවන ලද්දකි.පොකුණු දෙකෙහි දිග පළල දළ වශයෙන් මීටර් 40*16 සහ 28*17 වේ.පළමුවන අග්බෝ රජුගේ කළ නිර්මාණයක් ලෙස සැලකේ.පොකුණට එන ජලය කීපවරක් පෙරි එන සේ ගලින් නිම වු බිසෝ කොටුවක් දැකිය හැකිය.ජලය අපවිත්‍ර වු විට පිට කිරිමට කුහරයක් ද දැකිය හැකිය.=== ====සුදස්සන පඨානඝරය==== පාංශුකූලික භික්ෂුන් වැඩ හිඳි පඨානඝරය රත්නප්‍රාසාදය පසු කර යන විට වයඹ දෙසින් හමුවේ. මෙය වලගම්බා යුගයට පෙර සිට පැවති බවට සාක්‍ෂි හමු වි තිබේ.

උපුටා ගැනීම  http://si.wikipedia.org/wiki/%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92_%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA